“මැණික.. ආදරේ කියන්නේ තමන් ආදරය කරන කෙනාව ළඟින්ම තියාගෙන ඉන්න ඕනි කියන එකට නෙමෙයි, දුරින් ඉඳගෙන හරි එයා සතුටින් ඉන්නවා දැකලා, ඔයාට සතුටු වෙන්න පුලුවන්නම්, අන්න එතනයි නියම ආදරේ තියෙන්නෙ…..”
ඔයාට මතකද? මීට සති දෙක, තුනකට කලින් ඔයා මට ඔහොම කිව්වා. සමහර විට ඔයාට මතක ඇති. සමහර විට මතක නැතුවත් ඇති. එදා මට කියපු දේ ඔයාට අමතක වෙන්න තරම් මාවර් ඔයාට දුරස් නෑ කියලා මං දන්නවා. ඒ වගේම එදා ඔයා මට කියපු දේ ගැන ඔයාගේ මතකේ තවමත් රැඳෙන්න ඉඩක් නෑ කියන තරමටම, ඔයාට මාව නොවටිනා කෙනෙක් වගත් දැන් මං දන්නවා.
මං කවුද? කිසිම අරමුණක් නැතුව හුළං හමන අතට ඔහේ ඇදිලා යන වරා මලක් වගේ ජීවිතයක් තියෙන කෙල්ලෙක් මං. ඒ ජීවිතයට මාව හුරු කළේ ඔයා…මේ මගේ කතාව…..
වැහි බිංදුවක්වත් නැතිව ඉඩෝරයට ගිහින් තිබුණු මගේ ජීවිතයට ලස්සන මල් වැස්සක් ගෙනත් ඇදහැලුවේ එයා. එදා ඉඳන් අවුරුදු ගානක් පුංචි කුරුලු ජෝඩුවක් වගේ හරි සතුටින් අපි හිටියා. එදා ඉඳන් එයා මගෙත්, මං එයාගෙත් ජීවිතේ වුණා. කවදාවත් මගේ ඇස් දෙකෙන් මං දැකල නැති මගේ අප්පච්චිව මං එයාගේ ඇස් දෙකෙන් දකින්න ගත්තා. එයාටත් මාව එයාගේ අම්මා වගේ දැනෙනවා කියලා දවසක් කිව්වා මතකයි. ඉතින් මේ විදිහට හරි ආදරෙන් අපි දෙන්නා අපේ ලෝකේ ටිකෙන් ටික ගොඩ නගන්න ගත්තා. හරියට පුංචි මාලිගාවක් වගේ. නමුත් අපි හදන ඒ පුංචි මාලිගාව කිසිම ස්ථාවරත්වයක් නැති, වැලි මාලිගාවක් බව දැන ගන්න ගියේ මට ටික කාලයයි. අපි දෙන්නා අතරට තුන්වෙනියෙක් එන්න ගත්තා. එයාව මං හරියට දැක්කේ මං පුංචි කාලේ කියවපු සුරංගනා කතාවල ඉන්න ‘නපුරු මායාකාරියක්’ වගේ. ඒ මායාකාරී, මගේ අප්පච්චි විදියට මං දැකපු එයාව ටිකෙන් ටික මගෙන් ඈත් කරන්න පටන් ගත්තා. එයාගේ වැරැද්දක් නෑ. මං අදටත් එයාට වැරැද්දක් කියන්නෙ නෑ. එයාටත් මාව අතහැරලා ඒ මායාකාරි ගාවට යන්න දහසකුත් හේතු තියෙන්න ඇති. මං මටත් වඩා එයාට ආදරේ දෙන්න ගිය නිසා එයාට ඒ ආදරේ වටින්නේ නැති වෙන්න ඇති.
ආදරයෙන් හිටපු කාලේ මගේ පුංචි වැරැද්දක්වත් නොදැකපු ඔයා, අද මාව මුළු ලෝකයක් ඉස්සරහා වැරදිකාරී කරලා. ඔයා දන්නවද? ඔයා එක්ක සතුටින් හිටපු කාලෙ කවදාවත් ඔයා මාව අඬවලා නෑ. ඒත් මට දැන් හැම රැයක්ම නොනිදා අඬන රැයවල් වෙලා. අපි හම්බවුනු අන්තිම වතාවෙත්, ඔයා ළඟ හිත ගලක් කරගෙන හිනාවකින් ඔයාට සමු දුන්නෙත්, මන් ඇඬුවොත් ඔයාට දරාගන්න බැරි වෙයි කියලා හිතලා.
ඒත් ඔයා දැන් මගේ ළඟ නෑ. හැබැයි ඔයාගේ උණුසුම, මතකයන් මේ හැමදේම, හැමදාටමත් මාත් එක්ක තියේවි. ඒ අඩුව පුරවන්න මගේ අප්පච්චිටවත් බැරිවේවි.
ඔයා ආදරෙන් එතැන නවතින්න. හැබැයි එක දෙයක් අමතක කරන්න එපා. මගේ අප්පච්චි ඉන්නේ ඔයාගේ ඇස් දෙක ඇතුලෙ වගේම, මං ඉන්නෙත් ඔයාගේ ඇස් දෙක ඇතුලේ කියලා.
අන්තිමට එදා ඔයා කිවුවා වගේ මෙහෙම ලියල තියන්නම්….”ආදරේ කියන්නේ තමන් ආදරේ කරන කෙනාව ළඟින්ම තියාගෙන ඉන්න ඕන කියන එකට නෙමෙයි. දුරින් ඉදගෙන හරි, එයා සතුටින් ඉන්නවා දැකලා තමන්ට සතුටු වෙන්න පුළුවන්නම්, අන්න එතන තමයි නියම ආදරේ තියෙන්නේ කියලා…….