අප්‍රේල් මස 13 හෝ 14 වන දින උදාවන සිංහල අලුත් අවුරුද්ද අතීතයේ සිට මේ දක්වාම පැවතගෙන එන්නා වූ කලා මංගල්‍යයකි. අලුත් අවුරුද්ද ලගා වෙත්ම ලොකු කුඩා සියලු දෙනාගේ සිත් සතන් ප්‍රබෝධයෙන් පිනායයි. මෙම අලුත් අවුරුද්දට පවත්වන අතීත මුතුන් මිත්තන් ආරක්ෂා කොටගෙන ආ චාරිත්‍ර විදි වර්තමානය තුළ අභාවයට යමින් පවතී. එයින් සිදුවන්නේ අවුරුදු චාරිත්‍ර, සංස්කෘතික උරුමයන් මෙන්ම ආගන්තුක සත්කාර ආදිය නොදත් පරපුරක් රටට බිහිවීමයි. එබැවින් සෑම නිවසකම වැඩිහිටියන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර විදි දරුවන්ද සහබාගී කොටගෙන සිදු කිරීමයි. එසේ ඉටු කලයුතු චාරිත්‍ර කීපයක් පිළිබද සංක්ෂිප්ත විස්තරයක් පහත අන්තර්ගත වේ.
නවසද බැලීම
මෙම චාරිත්‍රය ජෝතිෂ්‍ය සමග බැදී ඇත. සෑම වසරකම බක් මස සූර්ය මංගල්‍යයට පෙර සහ පසු අබිනව චන්ද්‍ර වර්ෂය සහ සූර්ය වර්ෂය වෙනුවෙන් මෙම නවසද බැලීම සිදු කරනු ලබයි. මෙය සිදු කරනු ලබන්නේ මල්, පහන්, සුවද දුම් වලින් බුදුන් වහන්සේ ප්‍රමුඛ තෙරුවන් පුදා පිරිත් සජ්ඣායනා කොට සියලු දෙනාහට යහපත ප්‍රාර්ථනය කර නැකතකට නවසද බැලීමයි.
පරණ අවුරුද්ද සදහා ස්නානය
විවිධ ප්‍රදේශවල මෙම චාරිත්‍රය විවිධාකාරයෙන් සිදු කරනු ලබයි. ඇතැම්හු 13 වන දින පරන අවුරුද්දට හිසට තෙල් ගැල්වූ අවසාන දවස වශයෙන් සලකමින් ස්නානය කරනු ලබයි. ඇතමෙක් 13 වන දින ස්නානය කර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය එලඹෙන තෙක් හිසට තෙල් නොදමයි. තවත් සමහරෙක් වැඩිහිටියන්ට ගරු කිරීමක් වශයෙන් ආච්චි හෝ සීයා කෙනෙකු ඖෂධ වතුරෙන් නාවනු ලබයි.
කුණු මුත්තා පිදීම
මෙම චාරිත්‍ර විධිය බොහෝ පැරණිය. වර්තමානයේ දැකගත නොහැකි චාරිත්‍රයක් ලෙසද හදුනාගත හැකිය. මෙය සිදු කරනු ලබන්නේ අවුරුද්දට පෙර දින එනම් පරන අවුරුදු දා මුලුතැන්ගෙයි එකතු වී තිබෙන කුණු සියල්ල ගෙනගොස් අසල තිබෙන කැලයකට දමා කුණු මුත්තා පිදීමයි.
තෙල් වළං ලිප තැබීම
තෙල් වළං ලිප තැබීමද බොහෝ පැරණි චාරිත්‍රයකි. අවුරුදු නැකත් පත්‍රයේ ඇති සුබ වේලාවට තෙල් දැමූ තාච්චියක් ලිප තබා ප්‍රථමයෙන් කොන්ඩෙ කැවුමක් පිළියෙළ කර ගනී. මෙම මුල් කැවුම “කෝඳුරු කැවුම” නමින් වෙන්කොට කෝඳුරු සහ කෘමි අනුභවයට වහලයේ මුදුනක එල්ලා තබයි. මේ ආකාරයට වළං ළිප තැබීමේ චාරිත්‍රය ඉටු කරයි.
පුණ්‍ය කාලය
නොනගතය ලෙසින් ද හැඳින්වෙන මෙම කාලය තුළ සුභ නැකත් කිසිවක් නොමැති නිසා පුණ්‍ය කටයුතු වල නිරත වීම වඩා යෝග්‍ය බව නක්ෂත්‍ර නියමයයි. ඒ අනුව පවුලේ සෑම දෙනා නොනගතයට වැඩ අතහැර පූජනීය ස්ථානයකට ගොස් පුණ්‍ය කටයුතු වල නිරත වේ.
අලුත් අවුරුදු උදාව
පුණ්‍ය කාලයේ ආගමික වතාවත්වල නියැළීමෙන් අනතුරුව අලුත් අවුරුදු උදාව එළඹේ. මෙම අලුත් අවුරුදු උදාවෙන් පසුව නව වර්ෂයේ නැකත් එළඹේ. පළමුවෙන්ම ලිප ගිනි මොළවා කිරිබතක් පිස ගැනීමේ චාරිත්‍රය එළඹේ. සිංහල සමාජයේ සෑම නිවසකම එකම වේලාවට මව, පියා හා දරුවන් සියලු දෙනාම එකතු වී නැකතට ලිප ගිනි මොළවයි.
වැඩ ඇල්ලීම
මෙම චාරිත්‍රයේ දී බොහෝවිට මව, පියා නිවස වත්තේ පැලයක් සිටුවීම, පැලයකට පස් දැමීම, පැලයකට ජලය දැමීම වැනි තම ජීවන වෘත්තියට ගැළපෙන කුමන හෝ වැඩක් කිරීමට පෙළඹේ. එසේම ඉගෙන ගන්නා දරු දැරියන් පොත්පත් කියවීම සිදු කරති. අකුරු ලියති. මෙයද සමස්ත ලංකාවාසීන් ම එකම වේලාවකට සිදු කරනු ලබන චාරිත්‍රයකි.
ගනුදෙනු කිරීම
මෙය සිදුවන්නේ වැඩ ඇල්ලීම හා ආහාර අනුභවයත් සමගමය. මෙහිදී පළමුව මව හෙවත් නිවසේ ගෘහණිය විසින් අඟුරු කැබැල්ලක්, මල් හා කාසි කිහිපයක් එකතුකොට සාදාගත් පොට්ටනියක් ළිඳට දමා ළිඳෙන් නැවුම් වතුර කළයක් පුරවා ගනී. පසුව නිවසේ සියලු දෙනා ගෘහ මූලිකයා සමග බුලතින් සහ මුදලින් ගනුදෙනු සිදු කරයි. මේ සියලු චාරිත්‍ර වලින් පසුව ආහාර අනුභවය සිදුවේ.
හිසතෙල් ගෑම
සිංහල අලුත් අවුරුදු නැකැත් වලින් වර්තමානයේ ක්‍රියාවට නංවන ප්‍රබල චාරිත්‍රයකි. මෙයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබේ. ඒ ඒ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථානයන්හි පූජකතුමන්ලා විසින් ඖෂධ කොල ජාතිද භාවිතා කර ගනිමින් මෙම කාර්යය ඉතා ගෞරවනීය ගෞරවනීය ව සිදුකරනු ලබයි.
මේ ආකාරයෙන් දක්වන ලද අවුරුදු චාරිත්‍ර විධි පිළිබඳව මතු පරපුර දැනුමින් පෝෂණය කිරිම වැඩිහිටියන් වන සැමගේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ.
ඒ. ඒ නිරෝමි තක්ෂිලා
(කැලණිය විශ්වවිද්‍යාලය)