කිරි ගව පාලනයට අභියෝගයක් දුන් දිරිය තරුණයා

දේශීය කිරි ගොවියා නැංවිය යුතුයි,ආරක්ෂා කළ යුතුයි

කෘෂිකර්ම ක්ෂේත්‍රය මෙන්ම කිරි ගවපාලන ක්ෂේත්‍රයද ඉහළ නැංවීම වර්ථමානයේ බෙහෙවින් කතා බහට ලක් වන මාතෘකාවකි.  මිනිස් පරිභෝජනය පිණිස කිරි ලබා ගැනීම සහ නැවුම්  කිරි ආශ්‍රිත විවිධ  නිෂ්පාදන කිරීමටත් කර්මාන්තයක් නිර්මාණය වී තිබීම  කිරි ගව පාලනයේ ක්ෂේත්‍රයේ දී අපට දක්නට පුළුවන්

ඒ සඳහා ප්‍රායෝගිකව නැඹුරු වූවන් හා ඉහළ ආදායමක් උපයා ගන්නන් ක්ෂේත්‍රය තුළ ඇත්තේ අතලොස්සකි.

නමුත් ඒ අතරින්  නව ක්‍රමවේද හා නිවැරදි දැනුම සමඟ නව තාක්ෂණයද යොදා ගනිමින් කිරි ගව පාලනය හා ඒ  සඳහා අවශ්‍යය තෘණ වගාවන් මඟින් සාර්ථකත්වයට පත් වීමට වෙර දරන තරුණයෝද අද අප සමාජයේ සිටිනවා කීවොත්.

ඔබ මොකද සිතන්නේ.

එසේ නිවැරදි දැනුමක් ඔස්සේ  ඔප මට්ටම් වෙමින් නව මාවතක යන අපූරු ගොවි තරුණයෙකු මට  හමු වුනා. වයස අවුරුදු 26 හැවිරිදි මොහු නමින් ප්‍රියන්ත ලසිත බණ්ඩාරයි. මහනුවර දිස්ත්‍රික්කයේ  තළාතුඔය ප්‍රදේශයෙහි ජීවත් වන මොහු කුඩා කළ සිට ව්‍යාපාර පරිසරයක් තුළ හැදී වැඩුනු අතර උසස් පෙළ සඳහා පෙනී සිටීමත් සමඟම තමන්ගේ කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය පසු පස හබා ගිය තරුණයෙකි.

මොහු කිරි ගව පාලන ව්‍යාපාරය සඳහා යොමු වෙන්නේ  දුෂ්කර කටයුත්තක් ලෙස සලකා මෙම ව්‍යාපාරයේ නියැලී සිටින කිරි ගොවියන්  සම්පූරණයෙන් අතහැර දමන අවස්ථාවකයි .නමුත් ඔහු දැනුම සොයමින් ඉවසීමෙන් අත්හදා බැලීම් සිදු කරමින් අද වන විට සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත් වෙමින් සිටින බව කිව යුතුයි.

මෙම ව්‍යාපාරයට යොමු වුනේ කොහොමද?

මම මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් වානිජ අංශයෙන් 2013 අවුරුද්දේ උසස් පෙළ හදාරා  නිම කළ අතර ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ආශාව තදින් තිබුණා.2013 වසරේ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපාරය සඳහා යොමු වුනා.ඒ සඳහා වූ ඉල්ලුමත් සමඟ ඇති වූ ගොම පොහොර අවශ්‍යතාවය නිසාම ගොවිපලක්  පටන් ගන්න හිතුවා.ඒ වන විට මා හට සත්ත්ව පාලනය පිළිබඳව කිසිම දැනුමක් තිබුණේ නෑ. එහිදී මා හට තලාතුඔය පශු වෛද්‍යය කාර්යාලයේ පශු  වෛද්‍යය නිළධාරී තුමා සමඟ සම්බන්ධ වීමට හැකි වුණා. ඉඩම පරීක්ෂා කර දී ගොවිපල ආරම්භ කිරීම සඳහා අවශ්‍යය සියළු දැනුම හා සැලැස්ම එතුමා මා හට ලබා දුන්නා.

 ඔබ සතුව අංගසම්පූර්ණ ගව ගාලක් දක්නට පුළුවන්

ඇත්තෙන්ම , සාර්ථක කිරි ගව පාලකයෙකුට නිසි කළමණාකරණයක් සහිත ගව ගාලක් තිබිය යුතුයි. නමුත් අතීතයේදී පියස්ස සහිත කිරි මඩු හා සෙසු අත්‍යාවශ්‍යය පහසුකම් සහිත ගව මඩු පවා  දැක ගැනීමත්  දුෂ්කර වෙලා තියනවා.නමුත් අද වන විට නවීන තාක්ෂණය සමඟ සැලැස්මකට අනුකූලව ගව නිවාස සැකසීම සිදු කරනවා.ඒ අනුව ලැගුම් බිම්,ඇවිදින වේදිකාව,ආහාර වේදිකාව,පැටවුන් සඳහා කොටු,ජල සැපයුම්,අපද්‍රව්‍යය බැහැර වන කානු ,ප්‍රථමාධාර පෙට්ට්ය අංග මනා සැලසුමකින් යුතුව සැකසීමෙන් කාර්යක්ෂමව හා පිරිසිදු බව රැක ගෙන මෙම ව්‍යාපාරය සිදු කර ගැනීමට පුළුවන් කියල කියන්න පුළුවන්.

ගොවිපලේ සිටින ගවයන් ප්‍රමාණය කොපමණද?

මා පළමුවෙන්ම වැස්සි පැටවු 2ක් 2015 වර්ෂය අවසානයේ මිලදී ගත්තා.2022 වර්ෂය  වන විට කිරි ගන්නා දෙනුන් 25ත්  මා සතුව ඉන්නවා.

ආහාර සපයා ගැනීම අභියෝගයක් නේද?

ඔව්.පැරණි ක්‍රම අනුව නම් ඒක අභියෝගයක්. වන පෙත් තුළ දිගේලි කිරීම ,වැව් තාවුල් වල සහ මුඩු බිම් වල දිගේලි කිරීම,වන පෙත් තුළ දදිගේලි කිරීම හා වැව් තාවුල් වල සහ මුඩු බිම් වල දිගේලි කිරීම.ආදී  ලෙස තමයි ශ්‍රී ලංකාව තුළ ගවයින්ට අවශ්‍යය ආහාර සපයා ගැනීම සිදු වුනේ.නමුත් ඉඩ කඩ සීමිත වීමත් හා වන පෙත්  අවම වීමත් සමඟ කිරි ගව පාලන කර්මාන්තය ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වෙලා තියනවා. ගොවීන් වැඩි දෙනෙක් කිරි ගවයින්ට සපයන ස්වභාවික තෘණ සහ ශාක අතු වර්ග බොහොමයක් ගුණාත්මක භාවයෙන් අඩු වීම නිසාද අවම කිරි අස්වැන්නක් ලැබීමෙන් කිරි  ගව පාලනය ගොවීන් අත හැරීමට තවත් එක් හේතුවක් වුනා.

නමුත් කාලයේ වෙනස් වීමත් සමඟම සත්ත්ව පාලන ක්ෂේත්‍රයද වෙනස් මගක යනවා.ඒ අනුව ගවයින් සඳහා අවශ්‍යය ආහාර නිෂ්පාදනය කර ගන්නේද  මා අතින්මයි.ගොවිපලක් තුළ සීමිත සම්පත් ප්‍රයෝජනයට ගත යුතුයි.ඒ අනුව වගා භූමියද සැලසුම් කළ යුතු වෙනවා. පශු  වෛද්‍යය නිළධාරී තුමාගේ මග පෙන්වීම යටතේ මගේම ඉඩමක බඩ ඉඟුරු වගාව,co3(දෙමුහුන් නේපියර්) වගාව සිදු කරනවා.ඊට අමතරව ගවයින් සඳහා අවශ්‍යය  සයිලේජ්  හා සාන්ද්‍ර ආහාර මා විසින්ම නිෂ්පාදනය කරනවා. එමඟින් ගවයින් සඳහා අවශ්‍යය පෝෂණය නොවඩුව ලබා දීමට හැකි වෙලා තියනවා.

රට තුළ පොහොර හිඟයක් තියනවා නේද,ඔබ කොහොමද මේ සඳහා මුහුණ දුන්නේ?

මම මුලින්ම කොම්පෝස්ට් නිෂ්පාදනය සිදු කරා.එහිදී පිටින් ගොම පොහොර මිලදී ගැනීම දුෂ්කර වූ පසු තමයි කිරි ගවයින් මිලට ගැනීම සිදු කරේ.මගේ වගාවන් සඳහා අවශ්‍යය කාබනික පොහොර නිෂ්පාදනය මා විසින්ම සිදු කරනවා.අපද්‍රව්‍ය කානු පද්ධති මගින් වගාවට යැවීමද තුලින් හා කොම්පෝස්ට් නිෂ්පාදනයෙන්  පොහොර  හිඟ කමට විසදුමක් ලැබුනා.

රජයේ දායනත්වය මත  ආධාර ලබා ගැනීම?

මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මඟින් 50% දායකත්වය මත තණකොළ කැබලි කිරීමේ යන්ත්‍රයක් මා හට ලබා දුන්නා.ඊට අමතරව සයිලේජ් නිෂ්පාදනය සිදු  කර ගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තු මධ්‍යම පළාත් අධ්‍යක්ෂ  තුමිය විසින් බැරල් ලබා දීමට කටයුතු කරා.

නව තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම ගැන මොකද හිතන්නේ?

කිරි දෙවීම සඳහා යොදා ගන්නේ කිරි දෙවීමේ යන්ත්‍රයයි.එයින් අඩු කාලයකින් හා පිරිසිදු කිරි දෙවීමක් කරගන්න පුළුවන්.

තණකොළ කැපීමේ යන්ත්‍රය  නිසා ආහාර අපතේ යාම වලක්වා ගැනීමටත් ගවයින්ගේ  ජීර්ණය පහසු කිරීමටත්,ශ්‍රමය හා කාලය ඉතිරි කර ගැනීමටත් හැකි වූවා.දෛනිකව කිරි ලීටර්  150-200ක ප්‍රමාණයක කිරි අස්වැන්නක්  ලබා ගැනීමට දායකත්වයක් මෙම ක්‍රමය ඔස්සේ ලැබෙනවා.

ඔබේ ව්‍යාපාරයේ නව අදියරයන් සඳහන් කළොත්

කොරෝනා  රෝග  ව්‍යාප්තිය නිසා දියර කිරි වල අවශ්‍යතාවය  පැන නැගුනා.ඒ අනුව  2021 . 7.28 වන දින  බෝතල් කළ  නැවුම් එළ කිරි නිෂ්පාදනය ආරම්භ කළා.මුලදී මගේම වාහනයේ  ලැබුණ  ඕඩර් වලට සැපයීම සිදු කරා.2021.11.25 වන දින   එළ කිරි   යොදා ගෙන කිරි ටොෆී නිෂ්පාදනය සිදු කරන්න ගත්තා.නැවුම් එළ කිරි දිස්ත්‍රික් මට්ටමින් බෙදා හැරීමත්  , කිරි ටොෆී දීප ව්‍යාප්ත මට්ටමින්  ෆුඩ් සිටි හරහා බෙදා හැරීමත්  සිදු කරනවා.ඉදිරියේදී විදේශ වෙළඳපොළ සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් මෙම වෘත්තියේ යෙදීම ගැන මොකද හිතන්නේ?

මුලදීමේ කිරි ගව පාලනය සිදු කිරීම තුලින් මෙතරම් අවස්ථා රැසක් ලැබෙයි කියලා මම හිතුවේ නෑ. ඉස්සර හැම ගෙදරකම කිරි ගව පාලනය සිදු වුවත් පසු කාලීනව දුෂකර කර්මාන්තයක් වීම තුළ බොහෝ දෙනා අත්හැරියා.ඒ අනුව සත්ත්ව පාලන ක්ෂේත්‍රය මන්දගාමී තත්වයත පැවති බව කිව යුතුයි.

 ඒත් දේශීය කිරි ගොවියා නැංවිය යුතුයි,ආරක්ෂා කළ යුතුයි යන්නෙන්  කෘෂි කර්ම ක්ෂේත්‍රය වගේම සත්ත්ව පාලන ක්ෂේත්‍රයද රටට වැදගත්  වන බව සමාජ කතිවාකතත් ගොඩ නැඟුනා.කොරෝනා වසංගත සමය නිසා මිනිස්සුන්ට දේශීය දියර කිරි වල වටිනාකම තවත් දැනුනා. නිසා මෙම ව්‍යාපාරය දියුණු කර ගැනීමටත් ආදායම ඉහළ නැගීමටත් පුළුවන් වුනා.

මුලදී මම  ව්‍යාපාරය සිදු කරේ  මගේ බිරිඳ සමඟ. මාසෙකට රුපියල් ලක්ෂය දෙකකට වැඩි ආදායමක් අපි ලබා ගත්තා.දැනට අමතරව සේවකයින් දෙදෙනෙකුට රැකියා අවස්ථා සැපයීමට මට හැකිවෙලා තියෙනවා. සාර්ථක ව්‍යාපාරිකයෙක් කරා යන ගමන් මගේ මන් අද ඉන්නවා.

වර්තමානයේදී තරුණ තරුණියන් රැකියා පසු පස යමින් කාලය වැය කරනවා.මා හිතන්නේ තමන්ව තමන් හඳුනාගෙන උත්සහයෙන් මා වගේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට රජය මැදිහත් වීමෙන් අවස්ථා සලසලා තියෙනවා.ඒ දේවල් ප්‍රයෝජනයට ගනිමින් දියුණු මාවතකට පිවිසෙන්න කියලා  ආරාධනා කරනවා.

 පිවිසෙන්න https://www.facebook.com/nikathanna-dairfarm

කිරි ගව පාලනය තුලින් සාර්ථක ව්‍යාපාරිකයින්  බිහිවීමේ අවස්ථාව මෙන්ම දේශීය කිරි නිෂ්පාදනයද ඉහළ නැංවීම තුළින් රටේ ආර්ථිකයටද දායකත්වය දිය හැකිය.නව තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම හා විධිමත් දැනුමක් යටතේ කිරි ගව පාලනය සිදු කිරීම නිසා අඩු ශ්‍රමය හා කාර්යක්ෂමතාවය තුළින් ඉහළ කිරි අස්වැන්නද වැඩි ආදායමකට ද හිමි කම් කියන සාර්ථක තරුණ ව්‍යාපාරිකයින් බිහි කළ හැකිය.එමඟින් රට තුළ ඇති විරැකියා ගැටළුවටද විසඳුමක් වනු නොවනු මානය.

ඒ අනුව රැකියා විරහිත තරුණ තරුණයින්  දිරි ගැන්වීම සඳහා මෙම දිරිය තරුණයා  මහඟු ආදර්ශයක් සපයන බව කිව යුතුමය.

ක්‍රිෂාන්ති රත්නායක

You may also like

Leave a Comment