(පෙබරවාරි 13 වනදාට යෙදෙන ගුවන්විදුලි දිනය නිමිත්තෙනි.)
“සන්නිවේදනය යනු මනුෂ්‍යත්වයේ හරයයි. සන්නිවේදනය හේතු කොටගෙන මිනිසුන්ගේ පාළුව තනිකම නැතිවෙයි” යනුවෙන් සන්නිවේදනය නිර්වචනය කරන්නේ සන්නිවේදන විද්‍යාඥයෙකු වන රොබට් ඩී මර්ෆි ය. තමන්ට දැනෙන හැගීම් මානෝභාවයන් අවශ්‍යතාවයන් මනුෂ්‍යයෙක් වශයෙන් පුද්ගලයාට අවශ්‍ය සියල්ල සපයා ගැනීමට සන්නිවේදනය ඉතා වැදගත්ය. සන්නිවේදනය පුද්ගල අවශ්‍යතාවයන්හි එක් අවශ්‍යතාවයක් බවට පතවී ඇත්තේද ඒ නිසාමය. පුද්ගලයාට පාළුව හා තනිකම නැතිකිරීමේ හා විනෝදය සැපයීමේ කාර්යය ගතහොත් වර්තමාන පුද්ගලයා බොහෝ විනෝදයක් ලබන්නේ භාහිර කාර්යගෙන් නොව සන්නිවේදන මාධයන්ගෙනි. පුද්ගලයාගේ තනිකම නැතිකිරීමේ හා විනෝදය සැපයීමේ මාධ්‍ය අතර අද ප්‍රබල ස්ථානය ඇත්තේ අන්තර්ජාලය ප්රමුඛ විද්‍යුත් මාධ්‍යයි. දුරකථනය එයින් ප්‍රධාන වෙයි. නමුත් 70, 80 දශක තුළ පුද්ගලයාට විනෝදාස්වාදය සැපයීමේ හා පාළුව තනිකම නැතිකරීමේ මාධ්‍ය අතර ගුවන්විදුලියට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. ගුවන්විදුලිය අසන ප්‍රේක්ෂකාගාරයක් සහ ඇසෙන ප්‍රේක්ෂකාගාරයක් එ කළ නිර්මාණය වී තිබිණි. තවමත් එවැනි ප්‍රේක්ෂක පිරිස් නැතිවාම නොවේ. නමුත් එවැනි ප්‍රේක්ෂක පිරිස් තව දුරටත් සමාජයෙන් බිහිනොවීමේ ප්‍රවණතාවයක් පවතී. මෙය සිදුවීමට හේතුව කුමක්ද? සමාජයේ පුද්ගලයා ශ්‍රව්‍ය සන්නිවේදනයට වඩා දෘශ්‍ය හා ශ්‍රව්‍ය සන්නිවේදනයේ එකතුවට කැමැත්තක් දක්වන්නේ කිනම් කාරණය නිසාද? දෘශ්‍ය ගුවන්විදුලිය නැතෙහාත් Visual Radio බිහිවීම ගුවන්විදුලියේ අනාගතයට සාධනීය ප්‍රතිඵලද නිශේධනීය ප්‍රතිඵල ගෙන දෙයිද එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන්විදුලියේ අනන්‍යතාවය ගුවන්විදුලියට අහිමිවේවිද යන්න පිළිබඳ සොයාබැලීම වැදගත්ය.
ගුවන්විදුලිය විද්‍යුත් විකිරණශීලිත්වය යොදාගෙන පණිවිඩ තැනින් තැනට සම්ප්‍රේෂණය කරයි. මෙය වයර් රුහැන් සබඳතාවයක් සහිතව සිදු කළ ක්‍රමය දුරකථන යයි. එහෙත් වයර් සබඳතා නොමැතිව මෙසේ පණිවිඩ යවන ක්‍රමය Wireless යන නමින් හඳුන්වා ඇත. ඒ අනුව ගම්දනව්වල වෑර්ලොස් ඒක වෑර්ලස් පෙට්ටිය ආදී නම් මුල් යුගයේ භාවිතා කර ඇත. ගුවන්විදුලියේ බිහිවිම පිළිබඳ කතාකිරීමේදී ශබ්දය මගින් සන්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණේ ගුවන්විදුලියට පමණි. ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිය ආරම්භ කිරීමේ ගෞරවය ලංකාවට හිමිවෙයි. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භය සිදුවන්නේ 1922 ජුනි මාසයේ 24 වෙනිදා ශ්‍රී ලංකා වයලස් සමාගම ආරම්භ වීමත් සමඟය. නමුත් 1924 පෙබරවාරි 22 දින කොළඹ තරුණ ක්‍රිස්තියානි නව නිවහනේදී ප්‍රදර්ශන ගුවන්විදුලි ප්‍රචාරයක් කළ බවට වාර්තා වි තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය නිළ වශයෙන් ආරම්භ කළ දිනය සේ සැලකෙන්නේ 1924 ජූනි 27 වෙනිදාය. ඒ ආකාරයට විකාශනය වී ආ ගුවන්විදුලිය කාලීනව වෙනස් වෙමින් විවිධ කොමිෂන්සභා හා නිර්දේශ යටතේ ගුණාත්මකව වර්ධනය විය. කන්දයියා වෛද්‍යනාදන් කොමිසම, එන්.ඊ. වීරසූරිය කොමිසම, සරච්චන්ද්‍ර උපදේශන කමිටුව, හුළුගල්ල කොමිසම හා වී.සී. ජයසූරිය කොමිසම එම කොමිසම් අතරවෙයි. මෙම කොමිසම් මගින් බලාපොරොත්තු වූ අරමුණු විවිධ විය. ගුවන්විදුලිය පිළිබඳව කතා කිරීමේදී වර්තමානයේ ගුවන්විදුලිය පවතින තත්ත්වයට වර්ධනය වීම කෙරෙහි පුරෝගාමී වූ පුද්ගලයන් හා ඔවුන්ගේ මෙහෙවර සුළුපටු නොවේ. ඒ අතර ඩී.එම් කොළඹගේ මහතා, තේවිස් ගුරුගේ මහතා, නන්දා ජයමාන්න මහත්මිය, එචි එම් ගුණසේකර, මහගම සේකර, ප්රේමකීර්ථිත අල්විස් හා ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ඒ අතර ප්‍රධාන වේ. 1996 මැයි 21 වෙනි දින ගුවන්විදුලි සංස්ථාව පිහිටුවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 1996 නොවැබ්බර් 15 වෙනිදා අංක 37 දරණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනත පාර්ලිමේන්තුවේ සම්මත විය. ඒ අනුව 1967 ජනවාරි මස 05 වෙනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විවෘත කරනු ලැබීය. ගුවන්විදුලියේ වර්ධනීය පියවරයක් ලෙස ප්‍රාදේශීය සේවා හැදින්විය හැකිය. ප්‍රාදේශීය වශයෙන් ගුවන්විදුලි සන්නිවේදන කටයුතු බලවත් කිරීම ඔස්සේ සමීප ග්රාහක සම්බන්ධතාවයක් වර්ධනය කරගැනීම මෙහි පරමාර්ථය විය. 1979 අප්‍රේල් 12 වනදා ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රජරට සේවය අනුරාධපුර කඩ පනහෙදී ආරම්භ වේ. මාතර නූපේ දී රුහුණු සේවය ආරම්භ වන්නේ 1980 අප්‍රේල් 22 වෙනිදාය. මහනුවර ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථානය 1983 අප්‍රේල් 13 වෙනිදා මහනුවර නගරයේ පුෂ්පදාන මාවතේදී ආරම්භවිය. ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි ආරම්භවන්නේ මහවැලි ව්‍යාපාරයේ කාර්යයක් ලෙසය. කිලෝමීටර් 10 ක ශ්‍රවණ කලාපයක් ආවරණය කළ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථාන මහවැලි ජන ජීවිතය සමඟ සමීපව බැඳී පැවතුණි. 1981 ඔක්තෝබර් 01 වෙනිදා මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානය ආරම්භ වේ. 1986 අප්‍රේල් මස 11 වෙනිදා ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානයත් 1989 පෙබරවාරි 12 වෙනිදා කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානයක් ආරම්භ වේ. දැනට ඌව ප්‍රජා ගුවන්විදුලිය වවුනියාවේ ඉරට්ටි පෙරියකුලම් වන්නි ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානය මඩකලපුවේ පිරෙයි ද්‍රවිඩ මාධ්‍ය ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානය හා කුරුණෑගල වයඹ ප්‍රජා ගුවන්විදුලිය සක්‍රීයව පවතී. පොළොන්නරුව ආරම්භ කළ පුලතිසිරාවය දැනට ක්‍රියාත්මක නොවේ. දඹාන එෆ් එම් ප්‍රජා ගුවන්විදුලිය දැනට ක්‍රියාත්මක වන නවතම ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථානයයි. මේ අකාරයට අපේ රටේ ගුවන්විදුලි ඉතිහාසය සංක්ෂිප්තව දැක්විය හැකිය.
ගුවන්විදුලිය ශබ්ද මාධ්‍යයකි. ශබ්දය ප්රමුඛ ප්‍රකාශන මාධ්‍ය ලෙස භාවිතා කරයි. භාෂාව සංගීතය විවිධ ශබ්ද හා නිශ්ශබ්දතාවය වන ශබ්දෝපක්රම මෙම මාධ්‍යයේ සන්නිවේදන ජීවනාලීන් බවට පත්වේ. එමෙන්ම ගුවන්විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යයකි. ග්රාහකයාගේ දෘෂ්ටිකෝණය අනුව මෙය ශ්‍රවණය කේන්ද්‍රකරගත් මාධ්‍යයකි. ශ්‍රව්‍ය ගෝචර රටාවට අනුව ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදනය වේ. මේ සියලු අනන්‍යතා වෙනස් කරමින් ගුවන් විදුලියට නව ප්‍රවණතාවයක් එක් වී තිබේ. එනම් Visual Radio ය. මෙය එක් අතකින් ධනාත්මකව මෙන්ම අනෙක් අතකින් ඍණාත්මකවද බලපායි. මෙය රේඩියෝවේ ආකෘතියටම නිර්මාණය වූ ආකෘතියකි. වෙනස පවතින්නේ එය දෘශ්‍යව නැරඹීමට හැකි වීමයි. මෙය ලංකාවේ ආරම්භ වන්නේ මෑත කාලයේය. මෙය ගුවන්විදුලි නාලිකා හා රූපවාහිනී නාලිකා දැනටමත් ආරම්භකොට අවසන්ය. මෙම සංකල්පයෙන් නිර්මාණය කරන ලද රේඩියෝ නාලිකා විශ්වවිද්‍යාල මට්ටමෙන්ද ආරම්භකර ඇත. මෙමගින් ගුවන්විදුලියේ වෙනදා තිබූ ස්වරූපය වෙනස්ව ගොස්ය. වෙනදාට අප සිතින් පමණක් මවාගත් හා ශ්‍රවණයෙන් රසවිදි ශබ්දය මේ තාක්ෂණයත් සමඟ ඇස් ඉදිරිපිටම දැකගන්නට හැකිය. මෙහි ධනාත්මක තත්ත්වය වන්නේ ශ්‍රාවක ආකාර්ෂණය වර්ධනය වීම හා තරුණ ශ්රාවකයින් ගුවන්විදුලිය තුළ රඳවා ගැනීමට හැකියාව ලැබීමත්ය. වර්තමානයේ තරුණ ශ්‍රාවක ප්‍රජාව තුළ ගුවන්විදුලිය ශ්‍රවනය කිරීමේ අඩු ප්‍රවණතාවයක් පවතී. සමාජ මාධ්‍ය තුළින් ගුවන්විදුලිය හරහා එක් වීමට අවස්ථාව ලබාදුන්විට වැඩිම පිරිසක් ගුවන්විදුලිය සමඟ සම්බන්ධවන්නේ ගුවන්විදුලි නිවේදික නිවේදිකාවන් සමඟ සමාජ මාධ්‍ය තුළින් පණිවිඩ හුවමාරුකිරීමට පමණි. නමුත් ආයතන හිමිකරුවන්ට අවශ්‍යවන්නේ තම නාලිකාවේ ශ්‍රවන පිරිස වර්ධනය කරගැනීමට මිස ලබාදෙන පණිවිඩය ගුණාත්මකව ලබාදීමට නොවේ. කෙසේ වෙතත් මේ නව සංකල්පය ගුවන්විදුලියේ පැවැත්මටත් ශ්‍රාවක පිරිසගේ රසවින්දනයට හා ඒකාකාරී බවටත් කදිම පියවරක්ය.
මෙම Visual Radio හි පවතින ඍණාත්මක තත්ත්වය වන්නේ මෙමගින් සම්ප්‍රධායික ගුවන්විදුලියේ ආකෘතිය වෙනස්වීමයි. ශ්‍රව්‍ය මාධ්‍යයන් වන ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන සංදේශ පරිකල්පනය වී අර්ථකතනය හෝ රස වින්දනය හෝ අන් සියලු ආකාර ප්‍රතිචාර ප්‍රතික්‍රියා ආදිය සිදුවේ. මේ නිසා පරිකල්පන උත්පාදන ශක්තිය ගුවන්විදුලි මාධ්‍ය සතු ප්‍රබල ශක්‍යතාවයක් ලෙස පෙන්වාදිය හැකිය. නමුත් මේ නවීන සංකල්යත් සමඟ මේ කියන්නාවූ වටිනාකම් සියල්ල නැති වී යයි. එවගේම ගුවන්විදුලියට පුද්ගලයා සවන්දෙන්නේ නිරායාසයෙනි. කාර්යබහුලත්වය පුද්ගලයාගේ ජීවිතයේ කොටසක් වී හමාරය. මේ සංකල්පය තුළින් ගුවන්විදුලිය ඇසීමට ඔවුන්ට වෙනමම වේලාවක් වෙන්කර ගැනීමට සිදුවෙයි. ඔවුන්ට එය නැරඹීමට හා ශ්‍රවණය කිරීමට වෙනමම වේලාවක් අවශ්‍යය. මේ නිසා වෙනදා ගුවන්විදුලිය ඇසෙන්නට දමා වෙනයම් කාර්යයක් කළ අපට මේ සංකල්පයෙන් එසේ සිදුකිරීමට නොහැකිය. කෙසේ නමුත් ඔිනෑම නවීන සංකල්පයක් තුළ ධනාත්මක මෙන්ම ඍණාත්මක තත්ත්වයක්ද පවතී. කාලය හා ස්වභාවදර්මය නිසිදෙය තොරාදෙනවා ඇත. එමනිසා නවීන දෙය රසවත් කියා එහි ගැත්තන් නොවීද, සාම්ප්‍රදාය වටිනවා කියා එහි ගැත්තන් නොවීද සියල්ලම කිරාමැන භාවිතයට ගැනිම කළයුතුය.