එච්.අයි.වී./ඒඩ්ස් කියන්නේ එකක්ද? | Is HIV/AIDS one?

Is HIV/AIDS one?
Is HIV/AIDS one?

දෙසැම්බර් පළමු වෙනි දා ඒඩ්ස් නිවාරණය සඳහා වන ජාත්‍යන්තර දිනයයි. 1988 පැවති ලෝක සෞඛ්‍ය සමුඵවකට ඉදිරිපත් කෙරුනු ඒඩ්ස් මර්දන වැඩසටහනකට අනුව එම දිනය ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් විසි එක්වන සියවස තුළ වසරේ එක් දවසක් පමණක් මුළුමහත් ලෝකයම එක් වී , මේ භයානක රෝගය ගැන කතා කිරීම ප්‍රමාණවත්දැයි කියා දැන් අප සිතා බැලිය යුතුව ඇත.

1981 වර්ෂයේදී ප්‍රංශ ජාතික වෛද්‍ය විශේෂඥයකු වන ලූක් මොන්ටැග්නියර් සහ ඇමරිකානු ජාතික වෛද්‍ය විශේෂඥ රොබට් ගැලෝ ඇතුළු කණ්ඩායම විසින් ඒඩ්ස් රෝගකාරක  වයිරසය එච්.අයි.වී./ඒඩ්ස් සොයා ගත්හ. එච්.අයි.වී යනුවෙන් හැඳින්වෙන්නේ මානව ප්‍රතිශක්තිකරණ ඌණතා යන්නයි. එමගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය දුර්වල කරනු ලබයි.

එච්.අයි.වී./ඒඩ්ස් කියන්නේ එකක්ද?

යන යෙදුම් එකිනෙක එච්.අයි.වී. සහ ඒඩ්ස් සමීපව භාවිත වුවද මෙතුළ වෙනසක් දැක ගත හැකිය. එච්.අයි.වී යනුවෙන් හදුන්වනු ලබනුයේ මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියට පහරදී එය දුර්වල කරන මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය යි. මෙම වෛරසය ආසාදනය වූ  පුද්ගලයෙකු නිසි ප්‍රතිකාර ලබානොගත් විට  ක්‍රමයෙන් ඔහුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වී එහි සෛලවලට හානි සිදුවෙමින් ඒඩ්ස් තත්ත්වයට මඟපෑදෙයි. මේ අනුව ඒඩ්ස් යනුවෙන් හදුන්වනු ලබනුයේ  නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය යන්න යි. එච්.අයි.වී  ආසාදනය වීමක දී නිසි ප්‍රතිකාර ලබානොගතහොත්, ආසාදනයේ සිට ඒඩ්ස්  අවධිය දක්වා පැමිණීමට වසර 8-10ක පමණ කාලයක් ගතවිය හැකි ය.

එච්.අයි.වී./ඒඩ්ස් රෝග කාරක වෛරසය තිබෙන්නේ කොහෙද?

එච්.අයි.වී වෛරසය සාමාන්‍ය පරිසරයේදී ජිවත් නොවේ. එයට පැවතිය හැක්කේ ජීව සෛල තුළ පමණි. එනිසා එච්.අයි.වී වෛරසය සුළගේ, ජලයේ හෝ ආහාරවල පැවතිය නොහැක. ආසාදිත පුද්ගලයකුග් රුධිරයේ, ශුක්‍ර තරලයේ, යෝනි ශ්‍රාවයේ හා ගුද තරලයන්ගේ අධික ලෙස වෛරසය අඩංගු වේ. නමුත් කෙළ, කදුළු, දහඩිය, අසූචි සහ මුත්‍රාවල වෛරසය අඩංගු වනුයේ සුළු වශයෙනි.

එච්.අයි.වී./ඒඩ්ස් රෝගය බෝ වෙන්නේ කොහොමද?

එච්.අයි.වී. කිසියම් පුද්ගලයකුට ශරීරගත වන ආකාර කිහිපයක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඒ අතර පළමු තැන ඇත. 85% පමණ බෝ වනුයේ ලිංගික සබදතා මගිනි. ගුද මාර්ගික හෝ මුඛ මාර්ගික වශයෙන් ආසාදිත පුද්ගලයෙකු සමග පවත්වන ලිංගික සබදතා මගින් සිදුවන තරල හුවමාරුවේදී රෝගය පැතිරේ. මේ අනුව,

·         අනාරක්ෂිත ලිංගික සබදතා මගින්

·         ආසාදිත පුද්ගලයකුගේ රුධිරය හෝ පටක හෝ වෙනත් කෙනකුගේ ශරීර අභ්‍යන්තරීකරණය කිරීම මගින්

·         ආසාදිත පුද්ගලයකු භාවිතයට ගත් එන්නත් කටු, සිරින්ජර සහ අනෙකුත් ආකාරවල ශල්‍ය උපකරණ මගින්

·         ආසාදිත මවක් දරුවකු දැරීම සහ එම දරුවාට මවු කිරි ලබා දීම මගින් ( දරුවාට වැළදිය හැක )

එච්.අයි.වී. ආසාදනය වීමේ හැකියාවක් ඇත.

එච්.අයි.වී./ඒඩ්ස් ආසාදිතයෙකු හදුනා ගන්නේ කෙසේද?

එච්.අයි.වී. ආසාදිත වූ කෙනකුගෙන් මතුවන රෝග ලක්ෂණ සුවිශේෂ නැත. සාමාන්‍යයෙන් උණක් හෝ වෙනත් වෛරස ආසාදනයක් හෝ ඇතිවුණු කෙනකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ ද  මෙහිදී දිටිය හැක. එමෙන්ම එච්.අයි.වී. ශරීරගත වුණු පුද්ගලයන් විශාල පිරිසක් තමන් එච්.අයි.වී.වලින් ආසාදනය වී ඇති බව නොදැන සිටී. මෙය මෑත කාලීනව ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් විසින් සිදු කරනු ලැබූ පර්යේෂණවලින් තහවුරු වී ඇත. ඒඩ්ස් රෝගියෙකු හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂණයකින් පමණි.

එච්.අයි.වී./ඒඩ්ස් ප්‍රධාන රෝග ලක්ෂණ හා සුළු රෝග ලක්ෂණ මොනවද?

ඉහත දැක්වූ පරිදි එච්.අයි.වී වෛරසය මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිදී ගිය විට ඒඩ්ස් රෝගී තත්ත්වයට පත් වේ. මෙහිදී ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස,

·         මසකට වඩා පවතින උණ

·         මසකට වඩා පවතින පාචනය

·         සිරුරේ බර අඩු වීම ( මසක් ඇතුළත 10% කට වඩා ) යනාදිය හදුනා ගත හැකිය.

සුළු රෝග ලක්ෂණ ලෙස,

·         හතිය

·         මස්පිඬු වේදනාව

·         කෑම අරුචිය

·         කැස්ස

·         අධික ලෙස දහඩිය දැමීම

·         චර්ම රෝග ආසාදන යනාදිය හදුනා ගත හැකිය.

ලංකාවේ එච්.අයි.වී./ඒඩ්ස් රෝගයේ පැතිරීම

ශ්‍රී ලංකා ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ වසංගතවේද අංශයෙන් නිකුත් කරන ලද දත්තවලට අනුව  2021 ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වන කාර්තු ද්විත්වයේ දී වාර්තාවූ නව ආසාදිතයින් ගණන 263 කි. නමුත් 2022  තෙවැනි කාර්තුවේ දී පමණක් ආසාදිතයින් දළ වශයෙන් 156ක් පමණ වාර්තාවී ඇති බව එමගින් වැඩි දුරටත් පෙන්වා දෙයි. 2021 වසරේ පළමු හා දෙවන කාර්තුවලට සාපේක්ෂව 2022 වසරේ පළමු හා දෙවැනි කාර්තුවල දී වාර්තාවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 85%කින් පමණ ඉහළගොස් ඇති බවද දැක ගත හැකිය. වඩාත් කණගාටුදායක කරුණ නම්, මේ අතර පාසල් ළමුන්, විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම ස්වාමින් වහන්සේලාද සිටීමය. එමෙන්ම පසුගිය වසර හා සාපේක්ෂව විමසීමේදී පෙනෙනුයේ ආසාදිත තරුණ ප්‍රජාව දෙගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.

ලංකාවේ  එච්.අයි.වී./ඒඩ්ස් වැළඳීමේ වැඩිම අවදානමක් ඇති කණ්ඩායම්

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය වැඩිපුර වැළඳුනු සහ ඒඩ්ස් වැළඳීමේ වැඩි අවදානමක් තිබෙන කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන ඇත. Most at risk population හෙවත් ‘MART group’ ලෙස හදුන්වනු ලබනුයේ එම කණ්ඩායම්ය.

·         කාන්තා ලිංගික ශ්‍රමිකයන් ( ගණිකාවන් )

·         සමලිංගික පුරුෂයන්

·         බීච් බෝයිස්

·         මත් කුඩු භාවිත කරන්නන් ඒ අතර ප්‍රමුඛ වේ.

එච්.අයි.වී./ඒඩ්ස් ආසාදිතයන් කොන් කිරීම සාධාරණද?

කිසිසේත්ම නැත. එච්.අයි.වී. ආසාදිතයන් මෙන් ම ඒඩ්ස් රෝගය වැළඳුනු අයත් සමාජයෙන් කොන්වීම සාමාන්‍ය සිද්ධියකි. නමුත් එමගින් ඔවුනට ලැබෙන මානසික වේදනාව පිළිබද කිසිවෙකුත් සැලකිලිමත් නොවේ. ඔවුහු සාමාන්‍ය සමාජයෙන් ඈත්ව , හුදෙකලා ජීවිත ගත කරති. එච්.අයි.වී. ඒඩ්ස් වැළඳුන පුද්ගලයන් ඒ අන්දමට සමාජයෙන් කොන් නොකළ යුතුය.

අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුනා ද? එච්.අයි.වී./ඒඩ්ස් වලට නිරාවරණයවී ඇතිදැ යි සැක ද?

ශ්‍රී ලංකාවේ එච්.අයි.වී./ඒඩ්ස් මර්දනය කිරීමේ ජාතික වගකීම, ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. ජාතික ක්‍රමෝපායික සැලසුම සහ ඒඩ්ස් ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීමේ කේන්ද්‍රස්ථානය වනුයේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනයි. මෙහි පූර්ණ කාලීන පර්යන්ත සායන 31 ක් සහ ශාඛා සායන 23 ක් ඇති අතර මුලස්ථානය පිහිටා ඇත්තේ අංක 29, ද සේරම් පෙදෙස, කොළඹ, 10 යන ස්ථානයේ යි. ඒ අනුව ලංකාව පුරා ඇති සායනවලින් තමන්ට කැමති ස්ථානයකට ගොස් අදාළ වෛද්‍යවරුන් සමඟ කතා බස් කිරීමෙන් පසුව අදාළ පරීක්ෂණ සියල්ල නොමිලේ සිදු කරවාගත හැකිය. ලංකාවේ ඕනෑම ස්ථානයකින් මෙම පරීක්ෂණය සිදු කරගත හැකි ය. එමෙන්ම පුද්ගලික රෝහල් ඇසුරින් සහ HIV සෙල්ෆ්-ටෙස්ටින් නම් ක්‍රමය මගින්ද  මෙම පරික්ෂණ කර ගත හැකිය.

එච්.අයි.වී./ඒඩ්ස් සදහා ස්ථිර බෙහෙතක් තිබේද?

ලෝකය කෙතරම් දියුණු වුවත්, එච්.අයි.වී./ඒඩ්ස් නිට්ටාවටම සුව කිරීමට අවශ්‍ය ඖෂධ තවමත් නිෂ්පාදනය කෙරී නැත. දැනට ලබාදෙන්නේ රෝගියා තුළ වෛරසය ගුණනය වීම නැවැත්වීම සඳහා අවශ්‍ය ඖෂධ පමණි.

• Zidovirudine

• Protiase Inhibite  යනුවෙන් හැඳින්වෙන්නේ එලෙස ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ය.

මේ නිසා, එච්.අයි.වී. ශරිරගත වුවහොත්, එයින් නැවත මිදීමේ ක්‍රමයක් නැති බව අප සැවොම වටහා ගත යුතුව ඇත.

තිවාෂා නෙත්මි ,
කොළඹ විශ්ව විද්‍යාලය

තිවාෂා නෙත්මි 

You may also like

1 comment

Maleesha December 2, 2022 - 4:56 pm

Good article

Reply

Leave a Comment