පායනා කාල දී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරයි
කූබියෝ…..
කුහුඹුවන් වර්ශා කාලයේදී ආරක්ෂා වීම පිණිස ගිම්හාන කාලයේදී ආහාර රැස්කර ගන්නා බව ඔබ අප කවුරුත් දන්නා කාරණයකි. ඒ වගේම අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාර පිසීමට පෙර සහල් මිටක් වෙනත් මුට්ටියක දමා සහල් නොමැති විට හෝ අවශ්‍ය කෙනෙකුට ලබා ලබාදීම සඳහා අරන් තබනු ලබයි. අහසින් වැටෙන එක දිය බිදුව පවා අනාගතයට භාවිතයට අවැසි පරිදි සුරක්ෂිත කිරීමට පුරුදු වී සිටින ප්‍රෞඪ ජාතියක් ලෙස අභිමානවත් ඉතිහාසයක්ද අප සතුව පවතී. එවනි අතීතයක් හිමි පරපුරක වර්තමාන පරපුරේ සාමාජිකයෙකු ලෙස ඉතිරි කිරීම පිළිබඳ, සකසුරුවම පිළිබඳ අපද වඩාත් උවමනාවෙන් සිතිය යුතු කාලය එලබ ඇත.
පසුගිය කොවිඩ් වසංගත සමය තුළ ඔබට සකසුරුවම පිළිබඳ හරි අපූරු පාඩම් ඉගෙනීමට අවස්ථාවක් එලබෙන්නට ඇති. එහිදී සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වීමේ වැදගත්කම මෙන්ම සකසුරුවම්කම වැනි දෑ ඇති වටිනාකම මිනිසාට මනාව දැනෙන්නට සොබාදහම විසින් සලස්වනු ලැබූ බව ඔබට මතක ඇති. තමන්ගේ වැටුප් කප්පාදු වූ ඒ කාලසීමාව තුළ, එසේ නොමැති නම් තමන්ගේ ආදායම් මාර්ග ඇහිරුණු කී දෙනෙකුට නම් සිතෙන්නට ඇති ද තමන් මුදලක් ඉතුරු කර තිබුණා නම් කෙතරම් වටිනවාද යන වග. ඒ කෙසේ වෙතත් ඉතුරු කරන්නේ කොහොමද , ලැබෙන මුදල ජීවත් වීමටත් මදි බව සෑම මුවකින්ම පිටවන මැසිවිල්ලකි. ඒ නිසාම අද දිනයේ ඉතුරු කිරීම පිළිබඳ කතා කිරීම වඩාත් කාලෝචිත බව හැඟී යයි.
ඔබ උපයන ආදායම සම්පූර්ණයෙන්ම පරිභෝජනය සඳහා වෙන් නොකර ඉන් කොටසක් අනාගතය වෙනුවෙන් වෙන්කර තැබිය යුතු බව සම්බුද්ධ දේශනාවන්ගේ ද දක්වා තිබේ. ඒ වගේම ඔබ බෞද්ධයකු නම් චුල්ල සිටානන්ගේ ජාතක කතාව අසා ඇති. එම කතාව තුළ අන්තර්ගත වන්නේ මී කුණක් විකුණා ලබාගත් මුදල සකසුරුවම් ව ක්‍රමයෙන් ආයෝජනය කල පුද්ගලයකු පිළිබඳව කතා පුවතකි. බෞද්ධාගමේ මෙන්ම වෙනත් ආගම්වල ද සකසුරුවම් ව ජීවිතය ගෙන යන්නේ කෙසේද කියන කාරණය ආගමානුකූලවද මනාව පෙන්වා දී තිබේ.
සත්‍ය වශයෙන්ම අප සකසුරුවම්කම පිළිබඳ ඉගෙනගෙන නැද්ද, එසේ නොමැති නම් අප සකසුරුවම් ව ජීවත් වීමට ඉගෙන ගත් දේ ජීවිතයේදී ප්‍රායෝගිකව භාවිතයට ගෙන නැද්ද, කියන කාරණා එක්වරක් නොව කිහිපවරක් සිතා බැලිය යුතුය.
ඔබට දිනෙක මුදල් පිළිබඳව මානසික නිදහසක් ලබා ගැනීමට අපේක්ෂාවක් තිබෙනවා නම්, ඔබ සත්‍ය වශයෙන්ම කළ යුත්තේ අද ඔබ උපයන ආදායමෙන් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීමයි. ලෝකයේ බොහෝ ධනවතුන්ගේ නොයෙකුත් කතා ඔබ අසා තිබෙනවා විය හැකියි. ඔවුන් බොහෝමයක් උපතේ දීම ධනවතුන් නොවෙයි. ඔවුන්ගේ ශක්තියෙන්,නොසැලෙන අධිෂ්ඨානයෙන් ඉදිරියට පැමිණි පුද්ගලයන් වේ. මේ ලෝකයේ එක රැයින් දනවත් වූ පුද්ගලයන් සිටිනවා නම්, ඒ ලොතරැයියක් දිනුම් ඇදීමෙන් හෝ වැරදි ක්‍රමයක් මත මුදල් හම්බ කිරීමක් සිදුකල අයවලුන් විය හැකියි. ඒ වගේම ධනවත් වීමට සිතා කෙටි මාර්ග ඔස්සේ මුදල් සෙවීමට පෙළබීම නොකල යුතුයි. එලෙස කෙටි මාර්ග අනුගමනය කරනවානම් එය ඉතාම තාවකාලික මාර්ග බව ඔබ මතක තබාගතයුතුයි . එසේ නොමැතිව ධනවත් වූවන් සිටිනවානම්, අනිවාර්යයෙන්ම දීර්ඝ කාලීනව ඒ වෙනුවෙන් සැලසුම් සහගතව වැඩකල පුද්ගලයන්ම වේ. ඔබටත් එවැනි ශක්තියක් ඔබ තුළම උත්පාදනය කර ගත හැකිය. නමුත් ඔබ අද වැඩේ හෙටට කල් දැමීම එසේත් නොමැතිනම් ඊළඟ මාසයේ සිට මම මුදල් ඉතුරු කරනවා, මේ මාසයේ මේ විදිහටම වියදම් කරනවා යන සිතුවිලි ඇතිව කටයුතු කිරීම තුළින් ඔබ කිසි දිනක දියුණු වීමට හැකියාවක් නම් නොලැබෙනු ඇත. ඔබ නින්දේදී දකින ඔබේ දනවත් සිහින සිහිනයක්ම වී මැකී යාමට ඉඩ නොදී ජීවිතයට ලන් කරගන්නවාද කියන කාරනය ඔබම තීරණය කල යුතුයි .
දියුණුවන ඕනෑම ව්‍යාපාරිකයෙකු මුලින්ම උපයන මුදලින් සුළු කොටසක් හෝ ඉතුරු කර පසුව එය ආයෝජනය කිරීමට අවස්ථාවක් බවට පත්කර ගනු ලබයි. ඔබට රුපියල් සියයක් ,දෙසීයක් හෝ ඉතුරු කරන්නට සිත් පහළ නොවේ නම් දිනක ඒ පිළිබඳව කණගාටුවට පත් වීමට සිදු වේ. ඔබට දිනක ධනවතෙක් වීමට සිහිනයක් තිබෙනවා නම් එම සිතුවිල්ලට අද වැඩ කටයුතු කළ යුතුයි. අද ඒ සඳහා කඳුළක් වැගිරිය යුතුයි. එසේත් නොමැතිව,අනාගතය සැපවත් කරගැනීම පිළිබඳ සිහින දැකීම නිශ්ඵල බව වටහා ගත යුතුයි.
“ඔබ මිලියන පතියෙකු වීමට නම්, මිලියන පතියෙකුලෙස සිතිය යුතුයි” ලෙස සමාජයේ ජනප්‍රිය කියමනක් තිබේ. එවැනි සිතුවිලි ඔබව ධනාත්මක ජීවිතයක් කරා ගෙනයන්නට හොද අවස්තාවක්ද වනු ඇත. මේ ලෝකයේ වැඩි පිරිසක් පඩියට වැඩ කරන්න පුරුදු වී සිටියි. එලෙස ජීවත් වීමට හුරු වී සිටින්නේ එය ඉතාම ලෙහෙසි බැවිනි . සුරක්ශිත බැවිනි. මාසෙට පඩිය අනිවාර්යයෙන්ම ලැබෙන බව දන්නා බැවිනි. නමුත් තමන් ඉහළම පඩි ලබන වෘත්තිකයෙක් උවත්, කවුරුන් හෝ යටතේ මාසේ පඩියට වැඩ කරනවා මිසක, එතනින් එහාට යම් දියුණුවක් නොලබයි. නමුත් තමන් ඉහළම පඩි ලබන වුර්තිකයෙකු වුවත්, ඔබ යම් අවධානමක් අරගෙන නිවැරදිව, අලුත් ව්‍යාපාරයක් , නව ආදායම් මාර්ගයක් සොයාගන්නට උත්සාහ කරනවානම් නව චින්තනයකින් ජීවිතය ජය ගැනීමට එම පුද්ගලයාට හැකිවනු ඇත. එහිදී මූලිකව යම් අවධානමක් තිබුණත් තීරණ ගැනීම ඔබේ ජීවිතයට අත්‍යාවශ්‍ය ම අංගයක් කර ගත යුතුය.
දෛනික ජීවිතයේදී අවශ්‍යතා සහ උවමනා යන කාරණා දෙක මත මිනිසුන් මුදල් වියදම් කරනු ලබයි. එක් මොහොතක වින්දනය උදෙසා නාස්ති කරන මුදල් ප්‍රමාණය කොපමණ දැයි කියන කාරණය ඔබ වියදම් කිරීමට පෙර කල්පනා කර බැලිය යුතුයි. වියදමින් පසු අපරාදේ මේ මුදල් වියදම් කළේ කියන මැසිවිල්ල ඔබගේ සිතට එනවා නම් එම වියදම නිශ්ඵල වියදමක් සහ මුදල් නාස්තියක් වේ. ඔබගේ අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් මුදල් වියදම් ප්‍රමාණවත් බව නිතරම වටහා ගත යුතුයි. නමුත් මෙයින් ඉතාම මසුරු ව වියදම් කරන්නට අවශ්‍ය බව කිසිවිටෙකත් අදහස් නොවේ. බොහෝවිට ඉතුරුව අවශ්‍යතාවයක් බවට පත්කරගන්නා පුද්ගලයා මුලින්ම තමන්ගේ මුදල් වැය කරනු ලබන්නේ ඉතුරුව සඳහායි. ඔබ ඔබට ලැබෙන මුදල මුලින් වියදම් කර, පසුව ඉතුරු කිරීමට සිටියහොත් කිසි දිනක ඔබට ඉතුරු කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නම් නැත. නමුත් ඔබට ලැබෙන ආදායමෙන් පළමුව කොටසක් ඉතුරු කර, ඉතිරිය ඔබගේ වියදමට තබාගැනීමට පටන් ගත් විට යම් කිසි දිනක ප්‍රමාණවත් ඉතුරුමක හිමිකාරයෙක් බවට පත්වන්නට ඔබට අවස්ථාවක් හිමි වනවා නොඅනුමානය. ඒ නිසාම මෙතරම් කාලයකට ප්‍රමාණවත් ඉතුරුමක් කරගැනීමට ඔබ අසමත් වූවා නම්, ලෝක සකසුරුවම් දිනය වන අද (31දා) දිනයේ සිට හෝ යම් ඉතුරුව කින් පටන් ගෙන යම් ඉලක්කයක් සිතෙහි තබාගෙන අනාගත ආයෝජනය සඳහා ඉතුරු කිරීමට පටන් ගන්න.