හපුතලේ  සවාරිය ( බඹරකන්ද දියඇල්ල දක්වා)

by සඳුපමා ගමගේ

හපුතලේ  සවාරිය ( බඹරකන්ද දියඇල්ල දක්වා)

හපුතලේ
හපුතලේ -haputale

සීත කාලගුණයකට උරුමකම් කියන සුන්දර වටපිටාවක් සහිත හපුතලේ තමයි මෙවර අපේ සංචාර ගමන වුනේ. කෝච්චියෙන් තමයි අපි හපුතලේ ගමන යාම සිදු කරනු ලැබුවේ. රාත්‍රී 8 ට පමණ තමයි මරදාන දුම්රිය ස්ථානයෙන් අපි ගමන ආරම්භ කලේ. මේ ගමන තුලදී තේවතු මැදින්,දක්නට තිබූ කඳු පන්ති මඟින් ද පරිසරයේ සුන්දරත්වය විදිමින් ගිය කෝච්චි ගමන ඉතාම ප්‍රියජනකය. අපි උදෑසන 6.30ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයට ලඟා වුනා. මෙහීදී අපි නවාතැන් පහසුකම් සඳහා අපි තෝරා ගත් ස්ථානයට ගිහින් උදෑසන ආහාරයත් අරගෙන විඩාව නිවා ගන්න ඇඟ පත සෝදාගෙන පොඩි විවේකයක් ගත්තා.

   ඉන්පසුව අපේ පලමු දවසේ ගමන ආරම්භ වුනා. අපි මුලින්ම ගියේ ලිප්ටන් සීට් වතුයාය බලන්න . වතුයාය දෙසට යන බස් රථයකින් විනාඩි 40 පමණ කාලයකින් එම ස්ථානයට  ගියා. මෙම තේ වත්ත තියෙන්නේ හපුතලේ දඹේතැන්න බණ්ඩාරවෙල පූනාගල අතර කදු ඉස්මත්තාවෙයි. මෙහි ඇති තේ ලෝකයම හඳුන්වනේ ලිප්ටන් තේ යනුවෙනි. ලිප්ටන් සීට් ලෙස හඳුන්වනු ලබන්නේ කඳු නිම්න තුනක් එකිනෙකට හමුවන ඉතාම පටු කඳු මුදුනකට වේ. මෙහී කඳු පන්ති වලාකුළු අතරින් වැසී ඇති සැටි බොහෝ සුන්දරව පෙනේ. මෙහි ඇති සුන්දරම ස්ථානය ලෙස දැක්වීමට හැකිවනුයේ අංශක 360 ක දර්ශනයක් බලා ගැනීමට ඇති ස්ථානයයි. දිස්ත්‍රික්ක 5ක් එම ස්ථානයට පෙනන අතර  උදෑසන හා සවස මීදුම නැති විට දෙවි නුවර, ත්‍රිකුණාමලය හා කිරින්දේ ඇති ප්‍රදීපාගාර වල එළිය ද දැක ගැනීමට පුළුවන්. අපි මේ සුන්දරත්වය විදලා අපගේ නවාතැන වෙත ගියේ සවස් වනවිට සීතල ගතිය තදින් දැනෙන්නට ගත් නිසාය.

   දෙවැනි දවසේ අපි මුලින්ම යන්න තීරණය කර ගත්තේ  ඇඩිසම් බංගලාවටයි. මෙය හපුතලේ සංචාරක ආකර්ෂණය දිනා ගත්ත සුප්‍රසිද්ධ ස්ථානයකි. මෙය අක්කර 10 කින් සමන්විත වන අතර පලතුරු , මල් සහ නොයෙකුත් බෝග වර්ගද වගා කොට තිබේ. මෙම බංගලාවේ ස්භාවය පැවසුවහොත් කළු ගල් වලින් පමණක් මෙය සාදා නිම කොට තිබේ. මෙහි වහලද සම්පූර්ණයෙන් ම තේක්ක ලීයෙන් නිම කොට ඇති අතර එයද මෙහි ඇති විශේෂත්වයකි.මෙය අයර්ලන්ත ගෘහනිර්මාණය ශිල්පයට  අනුව සාදා ඇති අතර මහල් දෙකකින් මෙය සමන්විත වේ . තවද, මෙහි ඇති කාමර ගණද 25ක් වන අතර තවත් විශේෂ කරුණක් වන්නේ උණුසුම් කිරීම සඳහා ඒ සෑම කාමරයකම ගිනි උඳුන් වලින් සමන්විත වීමයි. මෙහි මුල් අයිති කරු වන්නේ බ්‍රිතාන්‍ය ජාතික සර් තෝමස් විලියර්ස් ය. බංගලාව තුල ඔහුගේ පරම්පරාවේ ගෘහභාණ්ඩ , පොත්පත් සහ විවිධ සිතුවම්ද දැකගැනීමට තිබේ. මෙහි ශාන්ත සිල්වෙස්ටර්තුමන්ගේ සිරුරේ භෂ්මාව ශේෂ තැන්පත් කර ඇති බවද පවසයි. දැන් මෙහි අයිතිය ඇත්තේ ශාන්ත බෙනඩික් පූජකයන්ට වන අතර ඔවුන් දැනට තාපසාරාමයක් ලෙසද පවත්වා ගෙන යයි.

    දැන් අපි ආරම්භ කරනේ අපේ ගමනේ වෙහෙසකර ගමනයි. ඒ අපි මෙයින් පිවිසෙන්න හඳන්නේ ඔහිය මාර්ගය ඔස්සේ යකාගේ පඩිපෙල මාර්ගයටයි. මෙහි සුන්දරත්වය වැඩියෙන් ලබා ගැනීමට හැකි වනුයේ පයින් ගමන් කිරීමෙන්‍ ය. මෙම මාර්ගය බොහෝ සුන්දර වන අතර ඒ තේවතු, කඳු, හා ජල පහරවල් වලින්  අලංකාර වටපිටාවක් සමන්විත නිසාය. මෙය ඉතා අබලන් තත්වයේ ඇති පාරකි . එහෙත් මෙහි මෝටර් බයිසිකලයකින් හෝ 4WD වාහනයක ගමන් කීරීමට හැකි අතර ඉතාම ප්‍රවේසමයෙන් ගමන් කල යුතු වන අතර  එම වාහන වලටද හානි වීමටද වැඩි ඉඩකඩක් ඇත. අපි හවස් වන විට යකාගේ පඩි පෙල දිගේ වැලි වංගුවට පැමිණ එහි අපි කඳවුරු බැඳ නැවතත් අලුත් අත්දැකීමක් ලබා ගැනීමට සූදානම් විය.  පැය ගණනාවක් ඇවිදීමෙන් ඇඟට දමා තිබූ දාඩිය නිසා වෙහෙස වැඩියෙන් දැනෙන්නට විය. ඒ නිසා අපි  නා ගැනීමට ගියේ කළුවල කියන ස්භාවික නාන තටාකයටයි. එය නම් විස්මය ජනක වේ. ඒ ජලයේ ඇති සිසිලස සමඟ විඩාව නැති වී යන්නේ අපිටත් නොදැනීමයි. ඉන්පසු අපේ කඳවුරු ගැසූ ස්ථානයට ගොස් ගිනි මැලයක් ගසා රාත්‍රී ආහාර සදා ගෙන සියලු දෙනාම නින්දට ගියේ දවස පුරාවට වෙහෙසකර ගමනක යෙදුන නිසාය. මෙහි රාත්‍රීයේ දී මීදුමෙන් සියල්ල වැසී ගොස් සීතල ද ඉතාමත් වැඩි තත්ත්වයක තිබුනි. 

   උදෑසන 6.30 ට පමණ අවදි වුනේ සීතලද තවත් අත්විදිමිනි. කඳු අතරින් රතට රතේ හිරු නඟින දසුන දැකීමද පුදුමය ගෙන දෙයි . එය කියා ගැනීමට වචන නොමැතිවන තරමට ම මනස්කාන්ත ය. උදෑසන තේ පානයද රසවිදලා නැවතත් කළුවලට ගොස් ඇඟ පතද සෝදා ගත්තේ අද දවසේ ගමනට නැවුම් බවක් ලබා ගැනීමට ය. 

     අපිට අද මේ ඉසව්වේ සිට කිලෝමීටර් හතරහමාරක් පමණ පලට ගමන් කිරීමට සිදුවේ. මෙහිදී දියඇලි කිහිපයක්ම හමුවන අතර ලංකා දිය ඇල්ල දෙසට අපි ගියේ එහි ඇති සුන්දරත්වයත් විදීමට ය. ලංකා ඇල්ල යනුවෙන් මෙයට පවසන්නේ ලංකාවේ හැඩය ලෙස තිබෙන නිසාය. මනරම් ලෙස දිය දහරා කඩා හැලෙන අතර එය බලා සිටින විට සිතටද සැනසීමක් ගෙන දෙයි. මෙය තිබෙන්නේ බඹරකන්ද දිය ඇල්ලෙන් වම් පසට වෙන්‍න ය. ඉන් පසුව අපි ගියේ අපේ රටේ වටිනාම සම්පත් අතරට හිමිකම් කියන ඒ වගේම සංචාරක ආකර්ෂණය නොමඳව දිනා ගෙන ඇති බඹරකන්ද දියඇල්ල බැලීමටයි. එම ස්ථානයට යා යුතු වන්නේ ෆයිනස් ගස් වලින් පිරුණු වනයක් මැදින්‍ ය. මෙය ලංකාවේ උසම දියඇල්ල වන අතර මෙහි උස මීටර් 241 කි. වාර්ෂිකව මෙය නැරඹීමට සංචාරකයන් බොහෝ සෙයින් පැමිණේ. එය පුදුමයටද කරුණක් නොවනේ මෙය දුටු විට නෙත් සිත් පැහැර ගන්නා නිසා ය. කොපමණ වේලාවක් වුවද මේ දෙස බලා සිටීමට හැකි වේ. බඹරකන්ද දිය ඇල්ල බලලා අපි ආවේ ඒ අසලම තිබෙන කඩමණ්ඩියකට යි. උණු උණුවේ රොටියක් සමඟ තේ කහට කෝප්පයක් බීම මේ ගමන අවසානයට ලබා ගැනීමට හැකි තවත් අපූරු දෙයකි. 

   මෙම ගමන තුලදී කණගාටුදායක කාරණාව නම් සංචාරකයන්ගේ අහිතකර ක්‍රියා දැකීම ය. මේ සුන්දර පරිසර පද්ධතියට මේ වන විට හානි සිදු වී ඇත. ඒ නිසාම අපට පවසන්න තිබෙන්නේ මෙහි ඇති අපූර්වත්වය විදින අතරම මේ ස්භාවික සම්පත් රැක ගැනීම තම තමන්ගේ වගකීමක් කර ගන්න කියා ය.

හපුතලේ – haputale #බඹරකන්දදියඇල්ල

more details – https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A

සඳුපමා ගමගේ

Writer at Pawura Media

You may also like

Leave a Comment