සුන්දර බත්තලන්ගුංඩුව – Battalangunduwa

by සඳුපමා ගමගේ

සංචාරය සඳහා අපි තෝර ගත්තේ සුන්දර දූපතක් වන බත්තලන්ගුංඩුව .කල්පිටිය අර්ධද්වීපය කෙලවරේ තමයි මේ  අතිශය සුන්දර දූපත පිහිටා තිබෙන්නේ.සංචාරකයන්ගේ අවදානයට බෙහෙවින් ලක් වන දූපතක් විදියටත් හඳුන්වා දෙන්න පුලුවන් . ගමන් කල වාහනය කල්පිටිය වරායේ නවත්තලා අපිට  බෝට්ටුව මගින් තමයි දූපතට යාමට වුනේ. යා හැකි එකම මාර්ගය ද එයයි.එම දූපතේ වපසරිය හෙක්ටයාර් 145.53 පමණ වන අතර ගොඩබිමේ සිට කිලෝමීටර් 30.3 ක් පමණ දුරින් තමයි පිහිටා තිබෙන්නේ.බෝට්ටු ප්‍රවාහනය සඳහා  එක් මගියෙකුගෙන් රුපියල් 350ක් පමණ මුදලක් අය කරනවා.උදෑසන 8.30 ට තමයි ප්‍රවාහන සේවාව බත්තලන්ගුංඩුව ට යාමට ආරම්භ කරනු ලබන්නේ. කල්පිටියේ පිහිටා තිබෙන අනෙකුත් දූපත් පසුකරමින් සුන්දර දසුන් නරඹමින් යන බෝට්ටු ගමන තුලදී බෙහෙවින් ම සුන්දරත්වයක් අත්විදීමට අපිට හැකි වුනා.ඒ ගමන තුලදී සමහර අවස්ථාවල ඩොල්ෆින් මත්ස්‍යන්ද දැක ගැනීමට හැකි වුනා. ඒ මනස්කාන්ත දසුන් තුලින් මෙම කලාපයේ සංචාරය කිරීමට ඕනෑම කෙනෙකුගේ සිත් ඇදබැඳ ගන්නා බව  නම් නොරහසකි යන්න අපට සිතුනා. පැය 3 ක පමණ කාලයක් ගත වූ පසු දූපතට ලඟා වුනා. අපි රැගෙන ආපු බඩු බාහිර ආදියත් අරගෙන දූපතේ බටහිර පෙදෙසට ගියේ කෑම්පින් කරන්න හොඳ තැනක් හොයාගෙන . අපි තැනක් හොයාගෙන කෑම්පින් අත්දෑකිම ගන්න සියල්ල සූදානම් කර ගත්තා. දහවල් ආහාරයත් අපි හැමෝම එකතු වෙලා සාදා ගෙන එයත් රස විදලා පොඩි විවේකයක් ගත්තා.

විවේකයෙන් පසුව අපි ගියේ එහි ජනතාව ජීවත් වෙන තැනට.ඒ දූපතේ නැගෙනහිර ප්‍රදේශයට . කෙතරම් මෙම දූපත සුන්දර වුවත් එහි ජීවත් වන ජනතාව ඉතා කටුක ජීවිතයක් තමයි ගත කරන්නේ. ශ්‍රී ලංකාව තුල වඩාත් අභියෝගාත්මක ජීවන රටාවන් සොයාගැනීමට ඇති ස්ථානයක් කිවහොත් නිවැරැදි .ධීවර කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර එය ඔවුන්ගේ එකම ආදායම් මාර්ගයයි. මෙම දූපත තුල ඉතා සුළු පිරිසක් තමයි දැන් ජීවත් වෙන්නේ. සමහර අය දූපත අතහැර ගිය බව තමයි අපිට අසන්නට ලැබුනේ. මේ සෑම දෙනාම අදහන්නේ එකම දෙවියන් වහන්සේ කෙනෙකු පමණයි. ඒ ජේසුස් වහන්සේ .5 ශ්‍ර්‍රේණිය දක්වා ඉගෙන ගැනීමට පාසලක් තිබුනත් එම පාසලේ පහසුකම් දියුණු තත්ත්වයක නම් නැහැ. ඒ වුනත් මූලික අධ්‍යාපනය ලබා දෙන්න නාවික හමුදාව විසින් උදව් කරනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය පහසුකම් ද මේ ජනතාවට නැහැ. අසනීප තත්වයන් ඇති වුවොත් ඔවුන් කරන්නේ නාවික කඳවුරෙන් අවශ්‍ය බෙහෙත් ඉල්ලා ගන්න එක . ජල නල පද්ධතියක්ද මෙම ජනතාවට නෑ.ඒ වුනත් අවශ්‍ය කටයුතු කරගන්න ජලය තිබෙනවා වුවත් විශාල ගැටලුවක්ද පවතිනවා. ඔවුන් කරන්නේ දෛනික අවශ්‍යතා සඳහා පොළොවේ වලක් කපාගෙන මිරිදිය ජලය ලබා ගැනීම. නැත්තම් වැස්ස ඇති කාලයට ඒ ජලය එක්රැස් කර ගන්නවා.ඒ ජලය දෛනික අවශ්‍යතා වලට ඇති වුනත් බීමට නම් ගන්න බැහැ. ඒ නිසා බීමට ජලය කල්පිටියේ සිට බෝට්ටු මඟින් ගෙන්වා ගන්නවා.කෙසේ නමුත්, මේ ජනතාවට කොතරම් දුෂ්කරතා තිබෙනවා වුවත් ඔවුන්ගේ ජීවන රටාව තුල ඔවුන්ටම ආවේණික වූ හැඩයක් දක්නට තිබුනා.

ඒ සියල්ලම සමඟ මේ දූපත දේශීය හා විදේශීය  සංචාර ආකර්ෂණය බෙහෙවින් දිනා ගෙන තිබෙනවා .අපි රාත්‍රීයේ සුන්දර වෙරළ තීරයේ කෑම්පින් අත්දැකීම විනෝදකාමීව වගේම සතුටින් අත්වින්දා. වෙරළ රළු වන ස්භාවය සහ සුළං හමන විට දැනෙන සිසිලස තවත් රසයක් අපගේ මේ ගමනට එකතු කලා.මෙම දූපතේ සුන්දරත්වය සංස්කෘතිය සමඟද බැඳී තිබෙනවා. ඒ නිසාම ස්භාදමේ අපූරු නිර්මාණයක් කර ඇති මෙන් මෙය දුටු විට නම් සිතෙනවා. ප්‍රදේශයේ සිටින මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරයන් නිසාද මෙහි ඇති සුන්දරත්වය තව තවත් වැඩි වෙනවා. මෙය අපිට ලැබී ඇති විශාල සම්පතක් නිසාම සංචාරක ක්ෂේත්‍රය සඳහා ද වටිනා පාරාදීසයක් ද නිසාවෙන් මෙය රැක ගැනීම සෑම දෙනාගේම වගකීමයි.

#බත්තලන්ගුංඩුව #battalangunduwa #Battalangunduwacamping

සඳුපමා ගමගේ

Writer at Pawura Media

You may also like

Leave a Comment