කොල්ලනේ කෙල්ලනේ මම කිව්වනේ ඔයාලත් එක්ක දුක දිනා ජය ගත්ත පුද්ගලයන් ගැන කතා කරනවා කියලා. මෙයාල විවිධ ශාරීරික අනතුරුවලට මුහුණ දීලා හැබැයි ජීවිතේ success කරගත්ත set එකක් කියලත් මම කිව්වනේ.
පිටරට කෙනෙක්ගෙ ජීවිත කතාවක් කිව්වම අපට ඒක නහර වලට හරියටම කා වදින්නේ නැහැනේ. මොකද අපේ මිනිස්සු හිතන්නේ ඇමරිකාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියලානෙ. හැබැයි ලංකාවේ කෙනෙක් ගැන කිව්වොත් මෙයා නම් අපේ එකෙක් කියලා ගැම්මක් උඹට එන බව මං දන්නවා. අන්න ඒ නිසා මම අද තෝරා ගත්තා තමන්ගේ ජීවිතයේ සුන්දරම කාලය වන තරුණ කාලයේදී ශාරීරික අනතුරකට පත් වුණත් තම ඉදිරි ජීවිතය අසුන්දර කරනොගත් ශ්‍රි ලාංකික සුපිරි කෙල්ලෙක් ගැන කියන්න. එයා තමයි වෛද්‍ය සමිතා සමන්මලී.
2008 වසර වන විට මෙයාගේ වයස අවුරුදු 24ක් පමණ විය. මේ වනවිට සමිතා රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක තෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක විය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට ඇය තම මිතුරියන් සමග යාමට තීරණය කරන්නේ ඊට නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනයේ ඔවුන්ට වෙන්ව තිබූ කුටීර පරික්ෂා කිරීමටය. ප්‍රදර්ශන කුටීර පරික්ෂා කරන අතරතුර ඇති වූ අධික වර්ෂාවෙන් බේරීමට ඇයත් යහළුවනුත් වෙනත් කුටියක් වෙත දිව ගිය ද ඉන් ඇයට සිදු වූයේ වර්ශාවෙන් සිදුවීමට ඉඩ තිබූ දෙයට වඩා දරුණු අනතුරකි. අවිධිමත් ලෙස ඉදි කර තිබූ එම කුටියේ යකඩ ආධාරකයක් සමිතාගේ හිස මතට කඩා වැටෙන්නේ සදහටම ඇය ආබාධිත තත්ත්වයකට පත් කරමිනි. ඇගේ සුසුම්නාවට බරපතල හානි සිදු වූ නිසා ඇගේ ශරීරයේ පහළ කොටස සදාකාලික අප්‍රාණිකත්වයට පත්විය. ඇය ලංකාවේ මාස ගණනාවක් මේ සඳහා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව තම පවුලේ හිත මිතුරන්ගේ මෙන්ම ලංකාවාසී ජනතාවගේ ද සහයෝගය ඇතිව චීනය සහ සිංගප්පූරුව වැනි රටවලට ප්‍රතිකාර සඳහා යොමු විය. තම ස්වභාවික පාද යුගලය වෙනුවට ලෝහයෙන් තැනූ රෝද යුගලයකට හුරු වීමට ඇයට සිදුවිය. ආරම්භයේදී එය නුහුරු නුපුරුදු වුවද ක්‍රම ක්‍රමයෙන් ඇය එයට හුරු පුරුදු විය.
වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ විභාගය පළමුවර ඇය අසමත් වුව ද අවසානයේ ඇගේ උත්සාහය සියල්ල ජය ගත්තේය. ආබාධිත වුවත් ඇය වෛද්‍ය වෘත්තියට අමතරව ක්‍රීඩාවන් රැසකට දක්ෂකම් පෑවාය. ඉන් ඇය ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනා ගත් අවස්ථා ද ඇත. Wheelchair Tennis, Wheelchair Badminton, Swimming, Rowing, Skydiving ඒවා අතර විය. තමන්ට තමන් ගැන විශ්වාස නම් කට්ට කන්න ලෑස්ති නම් ඕනෑම අභියෝගයක් දිනන එක හරි පහසුයි. වෛද්‍ය සමිතා සමන්මලී කියන්නේ අන්න ඒ වගේ තමන් ගැන විශ්වාසය තියාගෙන ජීවිතය ජයගත්ත කෙනෙක්.
ජීවිතයට අභියෝග එද්දී ඒවාට face කරන්න උඹ හිත හයිය කර ගනින්. උඹගෙ ජීවිතය කවදාවත් සරල රේඛීයව ගමන් කරන්නේ නැහැ.අවස්ථානුකූලව උඹ වෙනස්වෙලා අනන්‍ය වූ හැඩයක් හදා ගනින්. ඒ අනන්‍ය හැඩයට නිදහසේ වර්ධනය වෙන්න ඉඩ දීපන්. ඊටපස්සේ උඹ උඹගෙ ඔලුව හිස් කරලා නිශ්චිත හැඩයකින් තොර වෙයන්. අන්න එතකොට උඹගෙ ජීවිත වලට එන ප්‍රශ්න වලට නිර්මාණාත්මකව උත්තර හොයන්න අභියෝගවලට නිර්මාණාත්මකව face කරන්න උඹට පුළුවන් වෙනවා. මතක තියා ගනින් j.k.Rowling “Harry Porter” කතාව ලියන්නේ සැමියාගෙන් දික්කසාද වෙලා තම රැකියාව අහිමි වෙලා රජයෙන් ගෙවන සොච්චම් ආධාර මුදලකින් ජීවත්වන කාලයේ දී බව. ජීවිතයේ අරමුණු, හීන, බලාපොරොත්තු වෙනුවෙන් කැප වෙද්දී තැවීම් රිදීම් වේදනාවන් මහ ලොකුවට දැනෙන්නෙ නැහැ. මොකද අපේ අරමුණු ඊට වඩා ප්‍රබල නිසා. එහෙනම් මහන්සි වෙලා වැඩ කරන උඹට ජයෙන් ජයම වේවා.