ජැක්සන් ඇන්තනී මහතා – 2023

චිත්‍ර ශිල්පියෙකුගේ පින්සලේ පහරේ සිට සංගීතඥයෙකුගේ තනු නිර්මාණය දක්වා, කලාකරුවන් අපගේ ලෝකය ගැඹුරු හා විශිෂ්ට ලෙස හැඩගස්වා ඇත. එසේ මෙරට නළු පරම්පරාවේ වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යය මෙන් ම සිනමාව ද එක සේ ජයග්‍රහණය කළ එක ම මහා නළුවා ජැක්සන් ඇන්තනි මහතා ය.

ඔහු හඳුන්වා දීමට තනි වචනයක් හෝ වචන කිහිපයක් සොයා ගැනීම පහසු නැත. ඒ, කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය අංශයකට හෝ කිහිපයකට සීමා නොවූ නිසා ය.

ජැක්සන් ඇන්තනි කලා ලොවට පිවිසියේ, පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී ම ය. ඔහු වරෙක පැවසුවේ, ‘මගේ කලාවේ ආරම්භය මගේ තාත්තාගේ ඔඩොක්කුව යි කියා ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මංගල සේනානායකගේ ‘එහෙත්’ නමැති නාට්‍යයෙහි රඟපෑ ඔහුට හොඳම නළුවා සම්මානය හිමි විය.

එම සම්මානයට ඔහු තෝරා ගත් සුගතපාල ද සිල්වා, සිය ‘මරාසාද්’ නාට්‍යයෙහි ප්‍රධාන භූමිකාව ඔහුට පිරිනමමින් නාට්‍ය කලාවේ දැවැන්ත රංග භූමිකාවකට පාර පෙන්වීය. පසුව, සරච්චන්ද්‍රගේ ‘ලෝමහංස’, දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’, ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’, ‘මෝරා’ සහ ‘ඔත්තුකාරයා’ වැනි නාට්‍යවල ජැක්සන් රඟපෑ භූමිකා ශ්‍රී ලංකා නාට්‍ය කලාවේ නොමියෙන සිහිවටන වේ.

ඔහු සිනමා රංගනයෙහි අතිවිශිෂ්ටයෙකු බව තහවුරු කර ගැනීමට, උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ සහ ‘රන්දිය දහර’, එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘විසිදැල’, බෙනට් රත්නායකගේ ‘අස්වැසුම’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාකටිං’ සහ ‘මහරජ ගැමුණු’, ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සූරිය අරණ’, ජැක්සන්ගේ ම ‘ඇඩ්‍රස් නෑ’, චිත්‍රපට කිහිපය වුව ප්‍රමාණවත්,” බව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අදහස යි.

සිනමා නළුවෙකු ලෙස තැබූ පියවර කූටප්‍රාප්තියට පත් වූයේ, කේරළ සිනමාවේ ‘ලක්නව්’ නමැති මලයාලම් චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයට තෝරා ගැනීමත් සමග ය.

ජැක්සන් ඇන්තනී දක්ෂ ගායන ශිල්පියෙකු බව ප්‍රකට වූයේ, ‘සුසීමා’ ටෙලි නාට්‍යය වෙනුවෙන් ඔහු ගැයූ ගීත කිහිපයකිනි. “දෑස පියා ගත් කල” නමැති ගීතය තවමත් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය ගීතයකි.

1992 වසරේදී ඔහු සිය මංගල ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සනිටුහන් කරමින් “ඇසළ කළුවර” ඔහු අධ්‍යක්ෂණය කළේ ය. ඉන්පසුව 2014 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ දෙවන ටෙලි නාට්‍යය වූ ‘‘දස්කොන්’’ දේශීය සම්මාන උළෙල කිහිපයකදී ම සම්මාන දිනා ගත්තේ ය.

ඔහුගේ රංගන දිවිය තුළ සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී. සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවලදී හොඳ ම නළුවා සම්මාන 20කට වඩා හිමි කරගෙන තිබීමෙන් ඔහුගේ රංගන කෞෂල්‍යය ප්‍රකට වෙයි.

ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ගෞරවයට පාත්‍ර විය. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වූ ‘‘ජුලියට්ගේ භූමිකාව’’ වෙනුවෙන් විචාරක සම්මාන උළෙලේදී වඩාත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඔහුට හිමි විය. ප්‍රේක්ෂකයා ගේ ඉමහත් ජනාදරයට පත් රූපවාහිනී වැඩසටහන් කිහිපයක් ද ජැක්සන් ඇන්තනී ඉදිරිපත් කළේය. ඒ අතරින් ගඟ දිගේ, සලංහන්තේ, මහා සිංහලේ වංශ කතාව වැනි වැඩසටහන් පිළිබඳ අදටත් මිනිසුන් කතා කරන්නේ, ඉමහත් වූ ප්‍රියතාවකිනි.

ඔහු හිමි කර ගත් සම්මාන පිළිබඳ සාකච්ඡා කිරීම සහ සඳහන් කිරීම සැබැවින්ම ඉතා අපහසු වැඩකි. එතරමට ම ඔහු ගේ සම්මාන ලැයිස්තුව ඉතා දීර්ඝය. වසර 65ක දිවිය තුළ ඔහු කළ සාහිත්‍ය කලා මෙහෙවර මෙන්ම ඒ සඳහා ඔහුට ලැබුණු ඇගයුම් ද විශාලය. කෙසේ හෝ ඒ විසල් පෞරුෂය දිවි ගමන නිමා කර ඇත. හදිසි අනතුරක් හේතුවෙන් දින 500ක් පමණ රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි මෙම අසහාය මිනිසා පසුගිය 09 වැනි දා දිවියෙන් සමු ගත්තේය. ඒ සිංහල සිනමාවට, ටෙලි නාට්‍යයට පමණක් නොව සකල කලාවන් සඳහාම පිරවිය නො හැකි රික්තකයක් ඉතිරි කරමිනි.

සටහන
මනෝරි පියුමාලි
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය
( තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි )

මනෝරි පියුමාලි

You may also like

Leave a Comment