නිර්මාණශීලී යොවුන් හදගැස්ම | Creative teenage heartthrob – 2022

නිර්මාණශීලී යොවුන් හදගැස්ම

පොඩි පන්තිවලදී ලොකු වුනාම වුණාම කවුරු වෙන්නද කැමති ඇහුවම , අපිට විවිධ උත්තර තියෙනවා. හැබැයි ඒ විවිධ උත්තර බොහෝවිට එක කුලකයකට අයත් වෙනවා.ඒ තමයි සාම්ප්‍රදායික රැකියා කුලකය . එහෙම වෙන්නේ අප රැල්ලකට හසු වී ජීවත් වන නිසාය .

එහෙත් මිනිසුන් යනුවෙන් හඳුන්වන්නේ හැමදාම එකම තැනක පල් වෙවී ජීවත්වෙන කොටසකට නොවේ. මිනිස්සු පියවරෙන් පියවර  ඉදිරියට  ගමන්  කරති.ඇතැම්විට පියවරක්  පිටුපසට ඇද වැටීමට ද ඉඩ ඇත .එහෙත් තාරුණ්‍යය යනු, පවතින රැල්ලට හසුවී තවදුරටත් ගසා ගෙන යාමෙන් වැළකී උඩුගම් බලා පිහිනන අවධියකි. අන්න එතකොට තමා  තමන් ව්‍යවසායකයෙකු වෙන්න ඕනා කියන අදහසක් මෝදු වෙන්න පටන් ගන්නෙ.

නිර්මාණශීලී යොවුන් හදගැස්ම | Creative teenage heartthrob - 2022
නිර්මාණශීලී යොවුන් හදගැස්ම | Creative teenage heartthrob – 2022

 ව්‍යවසායකයෙකු  වශයෙන් හඳුන්වන්නේ මෙතෙක් ඉටු නොවූ ඉල්ලුමක් හඳුනාගෙන එය සපයන්නට නව්‍ය  වූ ක්‍රමයක් සොයා ගන්නා වූ සමාජයට වැඩදායි පුද්ගලයෙකි. සාමාන්‍ය පුද්ගලයෙකු අභිබවා තමාගේ නිර්මාණශීලීත්වය තුළින් සමාජයට නවෝත්පාදනයක් දායාද කිරීම ව්‍යවසායකයෙකු තුළින් සිදුවේ.

එනමුත් කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවසායකයින්  ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබීමයි. ඊට එක් හේතුවක් වන්නේ විශ්ව විද්‍යාල , උසස් අධ්‍යාපන ආයතන හා පාසල් වලින් පිටවෙන තරුණ ප්‍රජාවගෙන් බහුතරයක් අදටත් රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවීමයි. බොහෝ තරුණ තරුණියන් මේ මොහොතේදීත් සිතනුයේ  තමන් අනිවාර්යයෙන්ම රැකියාවක් කළ යුතුය යන්නය.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් බිහි වීම අවම වීමට ඇතැම් විට බලපාන අනෙක් කරුණ වන්නේ දෙමාපියන් ය. බොහෝ දෙමව්පියෝ තම දරුවන්ට  ව්‍යවසායකයෙකු වීමට ඉඩ නොතබති. ඊට  බොහෝවිට බලපානු ලබන හේතුව  වන්නේ  ව්‍යවසායකත්වය තුළ දැඩි අවදානමක් දැරීමට සිදුවීමය. අවදානමක් දැරීමට බිය පුද්ගලයෝ  ව්‍යවසායකයින්  නොවී රැකියාවක නියැලීමට පෙලඹෙති.

 එහෙත් හරියන්නට හරි වරදින්නට හරි අවදානමක් අරගෙන ජිවිතය දිනපු ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ට උපහැරණ අවට සමාජය තුළින් අදටත් ලබාගත හැකිය.ඔවුන් එදා ඒ අවදානම ගත් නිසා ඔහුට සේම සමාජයට ඉටු වූ ප්‍රතිලාභය මෙතෙකැයි කියා කිව නොහැකිය. මඳකට නැවතී මොහොතක් සිතන්න ,

මාර්ක් සකර්බර්ග්ට බිල් ගේට්ස්ට ස්ටීව් ජොබ්ස්ට ඔවුන්ගේ ඒ ඒ ව්‍යාපාර ඇරඹීමට,  නවෝත්පාදනයන් සිදු කිරීමට සිතක් පහළ නොවුණි නම් අද ඔබට, මේ සමාජයට කුමක් වේවිද?  ඔබට අද ලොව පුරාම  මිතුරන් සිටින්නේ,  ඔබ නොයෙකුත් මෘදුකාංග භාවිතා කරන්නේ,  ඇපල් වැනි ජංගම දුරකථන,  අයි පෑඩ්  භාවිතා කරන්නේ ඔවුන් එදා ඒ අවදානම අරගෙන පියවරක්  ඉදිරියට තැබූ නිසා නොවේද? වර්තමානය වන විට තාක්ෂණය අප ජීවිතයට මෙතරම් අත්‍යවශ්‍ය නම් අනාගතයේ දී කෙතරම් අත්‍යවශ්‍ය වේ ද? අනාගත නවෝත්පාදනයන්හී  නිර්මාපකයින් වන්නේ ඔබයි.

විශ්වවිද්‍යාලවලින් පිටවන ඔබ කළ යුත්තේ “අපට රස්සා දියව් දියව්” යනුවෙන් පාරවල් වල හඬ ගෑම නොවේ. ඔබ කළ යුත්තේ ස්වයංව නැගී සිටීමයි. ජීවිතේ දිනන්න අනෙක් අයගේ උදව් සෑම විටකදීම බලාපොරොත්තු වන්නේ ආත්මවිශ්වාසයක් නොමැති පුද්ගලයෝය. එබැවින් ඔබ ඔබේ අනාගතය වෙනුවෙන් ඉදිරියට පියවරක් තබන්න. බලන්න එවිට ඔබට ලැබෙන මානසික ශක්තිය හා අභිප්‍රේරණය. ලෝකයේ කවදාවත් ඉදිරියට පියවරක් තැබූ පමණින් සාර්ථකත්වයට පත්වූ පත් වූ පුද්ගලයෝ නොමැත.

පියවරෙන් පියවර තම ඉලක්ක කරා ගමන් කළ පුද්ගලයන් අවසානයේ ලබාගත් ඵලය මෙතකැයි කියා මිල කළ නොහැක. කවුරුත් අප ළඟට පැමිණ අවස්ථා ලබා දෙන්නේ නැත . අප ඒ අවස්ථා ලබා ගත යුත්තේ අපගේ උත්සාහය, කැපවීම හා ධෛර්යය මතය. ජීවිතේ දිනපු මිනිස්සුන්ට කවදාවත් හොඳම අවස්ථා ලැබිලා නැහැ.එයාලා ලැබෙන අවස්ථාව හොඳම අවස්ථාව කරගත්තා . සිහි තබාගන්න… මේ ලෝකයේ  ඇබෑර්තු ඇත්තේ දක්ෂයින්ට ම පමණක් ම බව .

 පියවරක් ඉදිරියට තබන්නත් සමගම තබපු පියවර පිටුපසට ගන්නත් තරුණ තරුණියන්ට හේතු කාරණා රැසක් බලපානු ලබයි. ඒවායින් බොහෝ විට ප්‍රබල වන්නේ වටපිටාවෙන් පැමිණෙන අඳෝනා ය. මා  ඒවාට   අඳෝනා කියා කියන්නේ කවදාවත් ඒවායින්  ඔබට ඉදිරියට යාමක් නොමැති බැවිනි.

” අනේ ! ඔයාට පුලුවන්ද ඕවා කරන්න….. ඕවා නම් ඉතින් තනියම කරන්න පුළුවන් වැඩ නෙවෙයි…..බලන්නකෝ ඔයාගේ ඇඟේ හැටි….. පිම්බත් වීසි වෙනවා….. ඉතින් කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ ?….. තාත්තා පියන්….. පුතා කොහොමද බොස් කෙනෙක් වෙන්නේ ?….. ඉගෙනගෙනත් නෑ නේද ?….. ” සරලවම කිව්වොත් තමන්ට තමන් යන පාර පැහැදිලි නම්  දෙපැත්තෙ  බුරන උන් අදාළ වෙන්නෙම නැහැ. වටේ කතාවලට බයේ තමන්ගේ ගමන අත්හැරපු මිනිස්සු ජීවිතේ කවදාවත් දිනලා නම් නැහැ. තමන් දන්නවා නම් තමන් හරි කියලා වචන වලට බය නොවී අපි හීන පස්සේ පන්නමු.

ජීවිතේ සමහර දේවල් සැලසුම් කරලා ,  දිග පළල මැනලා , සුභ මුහුර්ත බලලා පටන් ගන්න සිතුවොත් ඒ දේවල් කවදාවත් ඔයාට කරන්න බැහැ. තමන්ගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒක දිනෙන් දින දියුණු කරන්න. ලොව ප්‍රචලිත කරන්න. සිහින දැක්කට විතරක් මදි . ඒකට තමන්ට “ඇම්මක්”තියෙන්න ඕන . අන්න ඒක තියන මිනිස්සු කවදාවත් වැඩක් පටන්ගන්න  සුබ වෙලාවල් බලන්නේ නැහැ. එයාලා තමන්ගේ අරමුණට යන්න හොඳම වෙලාව මේ මොහොත කියලා හිතනවා . එසේ සිතා වැඩ පටන්ගත්ත පුද්ගලයන් අද ව්‍යාපාරික ලොව පතාක යෝධයන් බවට පත්වී ඇත. 

ගොඩක් හීනා මවද්දී හරි සුන්දරයි. ඒත් ඒ සුන්දර   හීන වලට යන ගමන  හරි දුෂ්කරයි. කඳු  පල්ලම්, වංගු , වළවල් පිරුණු කටුක මාවතක්.අනාගතයේ සතුටින් ඉන්න අද පොඩ්ඩක් වෙහෙසෙන්න…. කට්ට කන්න…. අම්මා තාත්තා ඔයා වෙනුවෙන් බැංකු පොතේ කෝටි ගණන් සල්ලි දාලා නැතුව වෙන්න පුළුවන්….. තුන් වේල කන්නෙත් බොහොම අමාරුවෙන් වෙන්න පුළුවන්…. තාත්තා කම්කරුවෙකු වෙන්න පුළුවන්…. සැලෙන්න එපා…. ව්‍යාපාරික ලොව දිනපු මිනිස්සු එතනට යන්න කාපු කට්ට දුෂ්කරයි. පෙරේරා ඇන්ඩ් සන්ස්( perera & sons) අධිපති චාර්ලිස් පෙරේරා මහතා කොළඹ ආවේ හිස් අතිනි….. ස්ටීව් ජොබ්ස් යහළුවන්ගේ ඉස්තෝප්පුවල නිදාගත් කෙනෙකි …. බිල්ගේට්ස්ගේ පියා පාරේ බර්ගර් අලෙවි කළ කෙනෙකි …. වැදගත් වන්නේ තමන් ඉපදුණු තැනවත් අද සිටින තැනවත් නොවේ. වැදගත් වන්නේ ඔබ අනාගතයේ සිටින තැනයි.

ජීවත් වෙද්දී ලස්සන  බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න. මොකද ඔයා එනකං  ලස්සන අනාගතයක් බලාගෙන ඉන්නවා. වැඩක් අමාරු වෙද්දි අසාර්ථක වෙද්දී ඒ වැඩේ අත් හරින්නට එපා. අසාර්ථක වෙන්න වෙන්න සාර්ථකත්වය ඒ පසුපසම හඹාගෙනම එනවා. අභියෝග ලැබෙද්දි තමා ජීවිතයක වුණත් රහක් තියෙන්නේ. ඒකාකාරී ජීවිත වලට වඩා වෙනස් වෙන්න ඕනේ නම් දියුණු වෙන්න ආස නම් ඔයා  අවදානමක් ගන්න ඕනේ. දැන් ඉඳන්වත් ඔයා ඔයාගේ සිහිනය අතීතයට හෙටට තල්ලු කරන්න එපා. ඒවා ඉටුකර ගන්න මහන්සි වෙන්න. බාහිර පාර්ශව වලට හෝ අන් කිසිම හේතුවක් නිසාවත් ඔයා සිහින මවන  ජීවිතයට යන ගමන නතර කරන්න එපා. ඔයාට වැඩ පෙන්වලා ලෝකය මවිත කරන්න දවසක් උදා වේවි. ඒ දවස එනතුරු වෙහෙස නොබලා වැඩ කරන්න. කවදාවත් අත්හරින්න එපා.. ඉස්සරහටම යන්න.. ඔබට ජය.

#Creativeteenageheartthrob #නිර්මාණශීලීයොවුන්හදගැස්ම #යොවුන්

පෙවින්ද්‍යා රශ්මි

Writer at Pawura Media

You may also like

Leave a Comment