ගිනිබත් වු හීනයක අතරමං වු ඇගෙ කතව.

ගිනිබත් වු හීනයක අතරමං වු ඇගෙ කතව.

ඊයේ රාත්‍රීයේ සිටම ගතෙහි තිබුණු වේදනාව නිසාම නිශා ඇහැරෙන විට දහවල් 12.00 ත් පසුවී හමාර ය.දෙනෙත් විවර කළ ද හිසේ කැක්කුම ද ගතෙහි තිබු මත් ගතිය ද තවමත් ඈ තුළින් වියැකී ගොස් නැත.

“දැන්වත් නැගිටපන් බන්..තෝ ඊයේ රෑ මොකා එක්කද ගියේ..බලපන් උඹේ හැටි..”

ඒ නිශා ගේ මිතුරිය වූ මැන්ඩි ය.මදාරා..මැන්ඩි බවට පත්වූයේත් නිසංසලා නිශා බවට පත් වූයේත් මීට වසර කිහිපයකට උඩදී ය.ඒ ඔවුන් සිය රැකියාව ලෙස තම බිරිඳ හැරුණු කොට අනෙකුත් ස්ත්‍රීන් දෙවඟනන් සේ සලකා ඔවුන්ගේ පහස සොයන පිරිමින්ගේ මනදොල පිනවා යහන්ගත වීම ඇරඹූ කාලයේදී ය.

“අපෝ..ඊයේ නම් එපා වුණා බං..ඒකා යකෙක්..මම හුස්ම ගන්නවත් බැරුව හිටියේ යකෝ..මැරෙයිද කියලාත් හිතුණා..

ඒ වුණාට..මේ බලපන්…”

නිශා අත වුයේ දාහේ නෝට්ටු මිටියකි.ඒ පෙරදින රෑ ඈ හා යහන්ගතවු පිරිමියාගෙන් ඈ ට ලැබුනකි.

“නිශා..මට අද දවල් කස්ටමර්  කෙනෙක්..මම යනවා බං..උඹ මොනවා හරි හදාගෙන කාපන්…එනකොට කීය වෙයිද දන්නේ නෑ..බායි කෙල්ල..”

මැන්ඩි එසේ  පවසා නිශා ට සමුදී මාර්ගයේ වූ BMW රථයකට  නැඟ නොපෙනී ගියාය.

ටික වේලාවක් බැල්කනියේ සිටි නිශා කුස්සිය දෙසට ගියේ දවල්ට කන්නට යමක් සාදා ගන්නට ට.එහෙත් තවමත් ඇගේ ගතෙහි තිබු වේදනාව පහව ගොසින් නැත.යටි බඩින් එන සියුම් වේදනාව ද දරාගෙන ඈ රයිස් කුකරයට හාල් හුණ්ඩුවක් පමණ තබා නැවතත් ගොස් සිය යහනෙහි වැතිරුනා ය.

 හදිසියේම පසෙක විසිකර දමා තිබු පුවත්පතක් ඇගේ නෙත ගැටුණි.එය මැන්ඩි විසින් පෙර දිනයේ ගෙනාවක් බව සිතූ ඈ හිත්මතේ එහි පිටු පෙරලන්නට විය .එහෙත් එහි තිබු දැන්වීමක්  අසළ ඇගේ  නෙත් නතර විය.

” ස්වර “

රසකාමි සැදෑව..

නෙළුම් පොකුණ පරිශ්‍රයේදී…

ඇගේ සිත අතීතයට දිව ගියේ නිරායාසයෙ නි. මීට වසර 10 ට පමණ පෙර ඈ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි අවධියේදී   සිය යහළුවන් සමඟ මෙම ප්‍රසංගයම බලන්නට  ගිය සැටි ඈ ට සිහිවිය.එහෙත් යහළුවන් හා විනෝදයට පැමිණි එම ගමන  අද ඈ පත්ව සිටින තත්වයට ඇයව පත් කරාවී යැයි ඈ සිහිනෙකින්වත් නොසිතුවා ය.එදා කෙළිදෙලෙන් ඇය හා ගතකළ යහළුවන් අද සිටින්නේ ඇයට බොහෝ ඈතිනි. අද නිශා යනු සමාජයේ මුදලට විකිණෙන ගැහැණිය කි.එවන් කෙනෙකු සමඟ මිතුරුකම් පවත්වන්නට කවුරුන් නම් කැමති වෙත්ද..??

*****************

කුඩා කලම සිය පියා අහිමිවන නිසංසලා  ජීවත් වුයේ සිය මව සමඟ ය.බත් පැකට් සාදා කඩවලට දමන නිසංසලාගේ අම්මා සෑමවිටම උත්සහ ගත්තේ ඇයට හොඳින් උගන්වා දිනක තම දියණිය ඉහළ රැකියාවක් කරන තත්වයට පත් කරන්නට ය.පියා නොමැති ඈට පියෙකු මෙන් සැලකුවේ ඇගේ මාමා ය .සිය නැගණියගේ දරුවා වුවද ඔහු නිසංසලාට ද ඔහුගේම දරුවකුට සේ සැලකුවේ ය.නිසංසලා ද හොඳින් ඉගෙනගෙන සාමාන්‍ය  පෙළ විභාගය  සමත් වූයේ  සම්මාන සහිතව ය.එදා අම්මා තමා තුරුළු කරගෙන සතුටු කඳුළු හැලු සැටි නිශා ට තවමත් මතක ය.

එහෙත් මේ සියල්ල උඩු යටිකුරු වන්නේ නිසංසලාගේ ජීවිතයට රොෂාන් පැමිණීමත් සමඟ ය.ඔහු ඈට හමු වන්නේ යහළුවන් සමඟ බලන්නට යන “ස්වර “ප්‍රසංගයේදී ය.ඔහු ද එහි වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කළේ ය.සැබවින්ම ඔහු ඉතා දක්ෂ වාදන ශිල්පියෙකි.ඒ නිසාම එදින පැමිණ සිටි බෝහෝ තරුණියන්ගේ ආකර්ෂණය ඔහු දිනාගත්තේ ය.සංදර්ශනය අවසානයේ නිසංසලා හා ඇගේ අනෙකුත් යහළුවන් දොරටුව අසළ සිටියේ සිය මිතුරකු වූ මනෝජ් එනතුරු ය.ඒ ඔහු මඟ හැරුණු නිසාවෙ නි.

මදවේලාවකින් දොරටුවෙන් එන සෙනඟ අතරින් මතු වූ ඔහු නිසංසලා අත යමක් තැබී ය.

” නිසංසලා..අර ඩ්‍රම්ස් ප්ලේ කරපු අයියා..මේක උඹට දෙන්න කිව්වා..free වෙලාවක කතා කරන්න  කිව්වා..”

නිසංසලා ඔහුගේ නොම්මරය ලියු කොළ කැබැල්ල ගුලි කොට සිය බෑගය තුළට දමා,ගත්තේ මනෝජ්ටද රවමිනි.

 දින සති ගෙවීයද්දී නිසංසලා තව තවත් ඇගේ පාඩම් කටයුතු සමඟ එක් විය.දිනක් රාත්‍රියේ  පාඩම් කොට අවසානයේ ඇඳට ආ ඇයට එකවරම රොෂාන් සිහි විය.ඒ වන විටත් අලුයම 2.00 පසු වී තිබුණි.වෙලාව ද නොතැකු ඈ දෙවරක් නොසිතාම ඔහුට ඇමතුමක් ගත්තා ය.

“හෙලෝ…කවුද මේ..”

අනෙක් පසින් ඇසුනේ නිදිබර හඬකි.

“මං මේ..අර ස්වර..එකේදී…”

“කියන්න..බෝනික්කී..මම හිතුවා ඔයා මට  කොයි වේලාවක හරි ගනීවී කියලා..”

එලෙස ඇරඹි ඇමතුම පැය ගණනාවක් දිගට ඇදී ගියේ ඔවුන් මිතුරන් බවට පත් කරමිනි.ඒ මිතුරුකම ආදරයකට පෙරළුනේ වැඩිකලක් නොගොස් ය.මේ පිළිබඳ දැනගත්  නිසංසලා ගේ මාමා මෙන්ම අම්මා ද ඊට තදින්ම විරුද්ධ  වුයේ ඇගේ අනාගතය ගැන සිතමින් ය.හරිහමන් රැකියාවක් නොකරන රොෂාන් වැන්නෙකුට සිය දියණියගේ ජීවිතය  භාරදීමට ඇගේ අම්මා කිසි ලෙසක කැමති වුයේ නැත.

මේ සියල්ල හමුවේ නිසංසලා තව තවත් රොෂාන්ට ළං වූවා ය.සිය දුක්ගැනවිලි කියන්නට ඈ නිරතුරුව රොෂාන් වෙත ගියා ය .කල්‍ යත්ම ඈ සිතින් මෙන්ම ගතින් ද රොෂාන් ගේ වුයේ ගෙදරින් තිබු හිරිහැර තවතවත් වැඩිවද්දී ය.රොෂාන් ගේ ආදරය ඉදිරියේ ඈ උපන් දා පටන් ප්‍රාණසම වූ අම්මාව ද හැර දමා නිවසින් පැන එන්නේ ඔහු සමඟින් හීන කන්දක්  සිය සිතෙහි මවාගනිමි නි.

නිවසින් පැන එන නිසංසලා, රොෂාන් සමඟ නීතිමය බැඳීමකින් තොරව වුවද කුලී නිවසක කල් ගෙවූයේ තව තවත් හීන පොදි බඳිමිනි.එහෙත් කල් යත්ම රොෂාන් වෙනස් වන්නේ නිසංසලා ව ඈ නොසිතු විරු වේදනා කන්දකට ඇඳ දමමිනි.ඇගේ හීන ඇගේ දෑස් ඉදිරිපිටම ටිකෙන් ටික ගිනිබත් වන්නට විය.ඇගේ මවද හදිසියේ ඇති වූ පපුවේ අමාරුවක් නිසා මරණයට පත් වන්නේ මේ කාලයේදී ය.මත්ද්‍රව්‍ය  පානයට හුරු වූ රොෂාන් ඈගේ කනෙහි තිබු කරාබු යුගල පවා ඒ වෙනුවෙන් උගසට තැබී ය.නිසංසලා  කුසට අහරක් නැති ව ගෙවූ දවස් අපමණ ය.කුලී අයිතිකාරයන් ද විටින් විට ඔවුන්ට දොස් පැවරූ හ.

රොෂාන් ,ඈ ළඟට ගත්තේ බීමතින් ආ දිනක පමණි.ඒ ඔහුගේ කාමාශාවන් වෙනුවෙන්ම පමණි.ඔහුගේ ලෙයින් ඇගේ කුසට දරුවකු පිළිසිඳ ගත්තද එකී උරුමයද ඈට අහිමි වන්නේ දිනක් රොෂාන්ගෙන්ම ලද පහර දීම් නිසාවෙ නි.

“ඒයි..ලෑස්ති වෙයන් ගමනක් යන්න..හොඳ ඇඳුමක් ඇඳගනින්..නාගෙන හිටපන්..”

රොෂාන් කියු සැණින් නාන කාමරයට ගිය ඈ ඇඳුමක් ඇඳගෙන ලැහැස්ති වුයේ සිතේ යම් කුතුහලයක්  ජනිත වෙද්දී ය.

“ආව්..මගේ කෙල්ල අද හරි ලස්සනයි..අපි යමුකෝ..මම අද ඔයාව ලස්සන තැන්කට එක්කන් යනවා..අදින් පස්සේ අපි සතුටින් ඉමු”

ඔහු ඇගේ නළල සිප ගත්තේ ය.වෙනදා නොවූ ආදරබර බැල්මක් ඔහු මුවෙහි විය.ඈ ද ඔහුට තුරුළු වුයේ කලකින් විඳි උණුසුම හිත තුළ දල්වාගනිමි නි.

ඈ හා සමඟ පැමිණි ඔහු ගියේ සුපිරි හෝටලයක් වෙතයි.එහි වූ නවීන පන්නයේ කාමරයකට ඇතුළු වූ ඔහු ඈ ළඟට ගත්තේ ය.

“මැණික ..ඔහොම ඉන්න..මං ඉක්මනට එන්නම්..ඔයා වොෂ් එකක් දාගන්න..”

කිසිවක් නොතේරුණු ඈ..හිස සලා ඔහුට  අවසර දී ඇඳේ වැතිර උන්නා ය. ඈ නැවත ඇහැරුණේ කිසිවකු කාමරයේ දොර අරින ශබ්දය ඇසුණු නිසාවෙනි.ඈ ඇඳේ අනික් පැත්තට හැරුණේ ඒ රොෂාන්  බව සිතා, පමා වීම ගැන බොරු අමනාපයක් මවා ගන්නට ය.එහෙත් ගතට දැනුනු රළු ස්පර්ශයත් සමඟ ඈ ගැස්සී ඇහැරුණා ය.

“ක..කවුද…ඔහෙට වැරදීමක්..කෝ රොෂාන් ..අනේ මාව බේරගන්න..”

“රොෂාන් ..ඌ ගියා යකෝ..මට උඹව විකුණලා..ඌට ඕනේ කුඩු.. උඹ නෙවෙයි..”

එසේනම් රොෂාන් මත්ද්‍රව්‍ය  වෙනුවෙන් ඇයව වෙනත් මිනිසකුට විකුණා හමාර ය.ඇගේ හදවත වේදනාවේ සියළු මායිම් පසු කරද්දී දෙනෙතින් කඳුළු කැට රූරා වැටුණි.නාඳුනන මිනිසාගේ රළු ස්පර්ශන් ට වඩා ඇගේ හදවත රිඳුම් දෙද්දී ඇගේ සියුමැලි වත තැලි පොඩිවී ගියේ ය.

හෝරා කිහිපයකින් පසු සිය වත මතට නෝට්ටු කිහිපයක් විසි කළ මිනිසා යන්නට ගියේ ය.හැඟීමකින් තොරව හෝටලයෙන් පිටතට ආ ඈ ළඟ තිබු කඩයකට ගියේ වතුර වීදුරුවක් ඉල්ලාගෙන බොන්නට ය.

“මෙන්න දැන් ලැබුණු පුවතක්…මත්ද්‍රව්‍ය  ප්‍රවාහනය කරමින් සිටි අයෙක් මීට සුළු මොහොතකට පෙර නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී තිබෙනවා..අපි දැන් ඒ රූප රාමු වලට යොමු වෙමු..”

කඩයෙහි වූ රූපවාහිනි  තිරයෙහි දුටු දෙයින් ඇගේ දෙනෙත් විසල් විය.

ඔව්..ඒ ඈ ප්‍රාණසමව ආදරය කළ රොෂාන් ය.ඈ සියල්ල අත හැරියේ ඔහු වෙනුවෙනි..

මීට හෝරා කිහිපයකට පෙර  හිතක් පපුවක් නැති ලෙසින් ඇයව මුදලට විකුණා දැමුවේද ඔහු ය.නෙතින් කඳුළු වැටුන ද හදවත මැරී ගොසිනි.ඔහු වෙනුවෙන් වූ අවසන් සුසුම ඇය වා තලයට මුසු කළා ය.

ට්‍රීං..ට්‍රීංං….

ඇගේ අතීත දැහැන බිඳුණේ දුරකථනය  නාද වූ  හඬට ය..

“නිශා..අද foreign customer කෙනෙක්..එනවා මං 5.00 වෙනකොට වාහනයක් එවනවා..sweet girl වගේ ලෑස්ති වෙලා ඉන්න..”

“හරි මැඩම්..”

නිශා දුරකථනය  පසෙක දමා අතීතය වෙනුවෙන් ඉණූ කඳුළු කැට පිසදා ගත්තේ දෛවයට නොව ඈ විසින්ම ඇගේ ජීවිතයට උරුම කරගත් කටුක වර්තමානයට පේවී සුදානම් වෙමිනි

නිමි.

#sinhalastory

අචලා වික්‍රමසිංහ

Writer at Pawura Media

You may also like

2 comments

Maleesha October 31, 2022 - 3:25 am

Nice

Reply
Maleesha October 31, 2022 - 3:27 am

Nice story

Reply

Leave a Comment